Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්මාල්ගේ උත්සාහය බලරහිත කරති

ලක්මාල්ගේ උත්සාහය බලරහිත කරති

editorial - 2021 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

-------------------------------

(දමින්ද විජේසූරිය)

-------------------------------

මුල් ඉනිමේ වාසිය යන්තම් ලකුණු 2 ක් පමණක්ව තිබියදී ජොෂුවා ද සිල්වා (46) සහ රකීම් කොන්වෝල් (නොදැවී 60) එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 90 සම්බන්ධතාව නිසා පළමු ටෙස්ට් තරගයේ වාසිය මිටමොළවා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ. ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (22 වැනිදා) නිමා වන විට කොදෙව් පිල සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියේය. 

කොදෙව් වාසිය වන ලකුණු 99 න් ලකුණු 90 කම හිමිකාරයන් වූයේ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාව ගොඩනැංවූ ජොෂුවා සහ රකීම් කොන්වෝල් දෙදෙනාය. මෙම සම්බන්ධතාවයේ විශාලතම බලපෑම නම් ලකුණු 171 කට බිඳ වැටුණු කඩුලු 7 න් කඩුලු 5 කට හිමිකම් කී සුරංග ලක්මාල්ගේ උත්සාහය බලරහිත කිරීමයි. 

ජොෂුවා - කොන්වෝල් සම්බන්ධතාව ආරම්භ වූයේ සුරංග ලක්මාල් සිය 5 වැනි කඩුල්ලත් දවාගැනීමෙන් පසුවය. ඒ වන විට ඉතාමත් සාර්ථක පන්දු යැවීමක යෙදෙමින් සිටි මෙම පළපුරුදු වේග පන්දු යවන්නා වෙනුවට දුෂ්මන්ත චමීර ආදේශ කිරීමට නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය. එහෙත් ශ්‍රී ලංකා නායකයා දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගම තත්ත්වය වෙනස් වූයේ කොන්වෝල් තරමක් ආක්‍රමණශීලීව පහර දීම ආරම්භ කළ හෙයිනි. 

ඉනිමේ 83 වැනි ඕවරයේදී දෙවැනි නව පන්දුව ලබාගන්නා විටත් කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 7 කට 187 ක් විය. මුල් ඉනිමේ වාසිය ලකුණු 22 කි. එහෙත් දෙවැනි නව පන්දුවෙන් යැවූ මුල්ම ඕවරයේදී විශ්ව ප්‍රනාන්දුට හයේ පහරකින් සහ හතරේ පහරකින් සංග්‍රහ කළ කොදෙව් පිලේ දැවැන්තයා වන කොන්වෝල් එතැන් සිට ප්‍රහාරය ආරම්භ කළේය. මේ සමගින් ජොෂුවා ද සිල්වාත් තරමක් නිර්භයව සිය පහර කරා යාමට උත්සුක වූයේය. 

මේ හේතුවෙන් කොදෙව් පිලට නොපෙනෙන මානයේ තිබූ ලකුණු 100 වාසිය හදිසියේම ඈතින් මැවී පෙනෙන්නට වූයේ තවත් කඩුල්ලක් නොදැවී ලකුණු 250 සීමාව පසුකර යාමට පිතිකරුවන් දෙදෙනා සමත් වූ බැවිනි. සම්පූර්ණ දිනයකට ආසන්න කාලයක් තිස්සේ ඕවරයකදී ලකුණු 2.5 ක වේගයක් රඳවාගෙන සිටි කොදෙව් පිතිකරුවෝ, දෙවැනි නව පන්දුවෙන් යැවූ ඕවර 18 දී ලකුණු 81 ක් ලබාගත්තේ ඕවරයකදී ලකුණු 4.5 ක වේගයක් රඳවාගනිමිනි.

දුෂ්මන්ත චමීරගේ පන්දුවකට ඉහළින් යන පරිදි ‘කට්’ පහරක් ගැසීමට උත්සාහ කළ ජොෂුවා කඩුලු රකින්නා වූ දික්වැල්ලට උඩපන්දුවක් දෙමින් දැවී ගියද තවත් කඩුල්ලක් දවාගැනීමට අවස්ථාව නොදී කොදෙව්වෝ දිනය අවසන් කළහ. 

දෙවැනි දිනය ආරම්භයේ සිටම නිසි ඉලක්කයක් ඇතිව පන්දු යවමින් සිටි ලක්මාල් කොදෙව් පිතිකරු ලයිස්තුවේ මුල් කොටසට හානි කළේය. අවස්ථා කිහිපයකදීම නිකෲමා බෝනර්ගේ පිත්තේ දාරය සොයාගැනීමට ලක්මාල්ට හැකිවූ නමුත් පන්දුව ස්ලිප් ක්‍රීඩකයන් අතරින් හතරේ සීමාව කරා වේගයෙන් ඇදි ගියේය. 

ලකුණු සංඛ්‍යාව කඩුල්ලක් දැවී 43 ක් ව තිබියදී, නිකෲමා බෝනර්ගේ උඩපන්දුවක් රැකගැනීමට තුන්වැන්ි ස්ලිප් ක්‍රීඩකයාට හැකිවූ නමුත් ඒ අවස්ථාවේදී පන්දු යැවූ දුෂ්මන්ත චමීරගේ පාදය නියමිත සීමාවෙන් පිටතට පැන තිබූ බැවින් පිතිකරුවාට තවදුරටත් පිටියේ රැඳී සිටිය හැකිවිය. බෝනර් ලබා සිටියේ ලකුණු 17 ක් වූවත් තවත් ලකුණු 14 කට පසුව බෝනර් පිටියෙන් ඉවත් කිරිමට ලසිත් ඇඹුල්දෙණියට හැකිවිය. 

වසර 10 ට එපිටදී, මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී කොදෙව් පිල හමුවේ සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ සුරංග ලක්මාල් ටෙස්ට් තරග 64 කදී, ඉනිමක කඩුලු 5 ක් දවාගත් සිව්වැනි අවස්ථාව මෙයයි. 

 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 169   
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම   
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ.ධනංජය ප.ලක්මාල් 3
ජෝන් කැම්බල් - ඇ.දික්වැල්ල ප.චමීර 42
නිකෲමා බෝනර් - ක.මු.කළා ප.ඇඹුල්දෙණිය 31
කයිල් මේයර්ස් - ඇ.ධනංජය ප.ලක්මාල් 45
ජර්මේන් බ්ලැක්වුඩ් - ප.ලක්මාල් 2
ජේසන් හෝල්ඩර් - ප. ලක්මාල් 19
ජොෂුවා ද සිල්වා - ඇ.දික්වැල්ල ප.චමීර 46
අල්සාරි ජෝෂප් - ඇ.චන්දිමාල් ප.ලක්මාල් 0
රකීම් කොන්වෝල් - නොදැවී  60
කෙමර් රෝච්  - නොදැවී  4
අතිරේක 16
එකතුව ඕවර 101 කදී කඩුලු 8 දැවී  268
කඩුලු වැටීම   
1-13(බ්‍රැත්වෙයිට්), 2-69(බෝනර්), 3-95(කැම්බෙල්), 4-120(බ්ලක්වුඩ්), 5-133(මේයර්ස්), 6-169(හෝල්ඩර්), 7-171(ජෝෂප්), 8-261(ද සිල්වා)
පන්දුවට පහර දීමට සිටින පිතිකරු :   
ෂැනන් ගේබ්‍රිෙයල්  
පන්දු යැවීම :   
සුරංග ලක්මාල් : 24-9-45-5, විශ්ව ප්‍රනාන්දු : 16-5-52-0, දුෂ්මන්ත චමීර : 22-1-71-2, ලසිත් ඇඹුල්දෙණිය : 28-6-64-1, ධනංජය ද සිල්වා : 11-2-30-0

 


අදහස් (0)

ලක්මාල්ගේ උත්සාහය බලරහිත කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.