Last Update  :  2025-07-23 16:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්නව් පිලට ලකුණු 6 ක තියුණු ජයක්
අයි.පී.එල්. - 2022

ලක්නව් පිලට ලකුණු 6 ක තියුණු ජයක්

editorial - 2022 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 10 කට සහභාගි වී ඇති ලක්නව් කණ්ඩායම එහිදී ලැබූ 7 වැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට මොසීන් ඛාන් ප්‍රමුඛ  ලක්නව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඛාන් ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.  

වේගවත් පිතිහරඹයක නිරත වූ රෝමන් පවෙල් පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් ලබා සිටියදී මොසීන් ඛාන්ගේ පන්දුවක් හමුවේ කෘනාල් පාණ්ඩ්‍යා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. අක්සර් පටේල් පන්දු 24 කදී නොදැවී ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක රිෂාබ් පාන්ට් (44) සහ මිචෙල් මාෂ් (37) සමත් වුවද, ඔවුන්ට දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. පාන්ට් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගද, මාෂ් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගද ලකුණු රැස්කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත්තේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ලෝකේෂ් රාහුල් පන්දු 51 කින් වේගවත් ලකුණු 77 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

දීපක් හූඩා (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රාහුල් සමත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ හූඩාගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. ආරම්භක පිතිතරු ක්වින්ටින් ඩි’ කොක් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක් රැස්කළේය.  

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 195 
(ක්වින්ටින් ඩි’කොක් 23, ලෝකේෂ් රාහුල් 77, දීපක් හූඩා 52, මාකස් ස්ටොයිනිස් නොදැවී 17, ශර්ධුල් ඨාකූර් 40/3) 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 189 
(මිචෙල් මාෂ් 37, රිෂාබ් පාන්ට් 44, රෝමන් පවෙල් 35, අක්සර් පටේල් නොදැවී 42, කුල්දීප් යාදව් නොදැවී 16. මොසින් ඛාන් 16/4) 

-036 


අදහස් (0)

ලක්නව් පිලට ලකුණු 6 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.