Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීයයෝ එක්දින තරගයත් දිනති

රාජකීයයෝ එක්දින තරගයත් දිනති

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති 46 වැනි ‘මස්ටෑන්ග් කුසලාන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය රාජකීයයෝ, ඕවර 37 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්කයක සපුරාගත්හ. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භ පිතිකරු රෙහාන් පීරිස් පන්දු 107 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් රාජකීය විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය. උවිඳු වීරසේකර (50) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 138 කදී ලකුණු 107 ක අගනා සම්බන්ධතාවක්ද ගොඩනැගූ රෙහාන්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

පන්දු 68 කදී වාර්තා වූ උවිඳුගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර නායක දසිස් මංචනායක පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා සිය දායකත්වය සැපයීය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහලට රාජකීය විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 48.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. බුලන් වීරතුංග, දසිස් මංචනායක සහ සන්දේෂ් රාමනායක එහිදී කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු සේනාධි බුලන්කුලම පන්දු 134 කදී ලකුණු 66 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී සාන්ත තෝමස් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා සේනාධිට අනගි සහායක් දුන් මහිත් පෙරේරා පන්දු 36 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් රැස්කළේය. 

සාන්ත තෝමස් විදුහල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 165 
(සේනාධි බුලන්කුලම 66, මහිත් පෙරේරා 28, බුලන් වීරතුංග 24/2, දසිස් මංචනායක 25/2, සන්දේෂ් රාමනායක 34/2) 

රාජකීය විදුහල - ඕවර 37 කදී කඩුලු 3 ක් දැවී 166 
(රෙහාන් පීරිස් නොදැවී 69, උවිඳු වීරසේකර 50, දසිස් මංචනායක නොදැවී 26) 

 


අදහස් (0)

රාජකීයයෝ එක්දින තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.