Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත “142 වන නිල් මහ සටන” මහා ක්‍රිකට් තරගය බස්නාහිර පළාතෙන් පිටත පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවී ඇත. පාසල් දෙකේම සංවිධායක කමිටු සාමාජිකයින්, තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් සිටින නමුත් තරගාවලිය පැවැත්වීමට යෝජිත දිනයන් හෝ ස්ථාන හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ඔව්හු වැළකී සිටිති.
ඉතාම ආසන්න ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ මෙම තරගය අප්‍රේල් පළමු සතියේදී හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදාම් කෙරෙන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාසල් දෙකේම විදුහල්පතිවරුන්ගේ මැදිහත්වීමෙන් නිශ්චිත තීරණයක් මේ සතියේදී ගනු ලැබීමට නියමිත බව රාජකීය විද්‍යාලයේ මහ ක්‍රිකට් තරග කමිටුවේ ප්‍රකාශකයෙන් පැවසීය.
ක්‍රීඩකයන් එකම ජෛවගෝලයකට යොමු කරමින්, ප්‍රේක්‍ෂකයන් නොමැතිව හෝ ඉතාම සීමිත ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් ඇතිව, ක්‍රීඩාංගණයේ දොරටු වසා දමා, තරගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
බස්නාහිර පළාත තුළ දිනයක් තුළ ඉහළ කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් හම්බන්තොට, දඹුල්ල හෝ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලින් එකකදී මෙම තරගය පැවැත්විය හැකි බවට අදහස් පළවී තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩි දෙනාගේ කැමැත්ත හිමිවී ඇත්තේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයටය. එසේ වුවහොත්, වසර 142 කට ඉහතදී (1879 දී) ආරම්භ වූ මෙම මහ ක්‍රිකට් තරගය කොළඹින් පිටතදී පැවත්වෙන පළමු වතාව මෙය වනු ඇත.
රාජකීය - සා.තෝමස් මහ තරගය ගාලු මුවදොර පිටියේදී, ගෝර්ඩ්න් උද්‍යානයේදී (වත්මන් ජනාධිපති මන්දිරය පිහිටි ස්ථානය), නොමෑඩ්ස් ක්‍රීඩාංගණය (නෙළුම් පොකුණ රඟහල පිහිටි ස්ථානය), සී.සී.සී. ක්‍රීඩාංගණය, එන්.සී.සී. ක්‍රීඩාංගණය, වනාතමුල්ල පී. සරවනමුත්තු (ඕවල්) ක්‍රීඩාංගණය යන ස්ථාන වලදීද පැවැත්වී තිබේ. මෑත කාලයේදී එය දිගින් දිගටම කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්විණ.
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමට පෙර පැවැති අවසන් මහ ක්‍රිකට් තරගය වන්නේද රාජකීය - සා. තෝමස් මහ ක්‍රිකට් තරගයයි. එයින් පසුව, වසර 2020 සියලුම මහ ක්‍රිකට් තරග කොරෝනා වයිරසය හේතුවෙන් අවලංගු කර දමන ලදි. එතැන් සිට තවමත් පාසල් ක්‍රිකට් තරග ආරම්භ වී නැත.
රජය විසින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ලන්ඩන් උසස් පෙළ විභාග මැයි සහ ජුනි මාසවලදී පැවැත්වීමට අපේක්ෂා කෙරේ. එබැවින් රාජකීය - සා. තෝමස් මහ ක්‍රිකට් තරගය අප්‍රේල් මස පළමුවැනි සතියේදී පැවැත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවද දැනගන්නට ලැබේ. ඊට හේතුව වන්නේ මෙම තරගයට සහභාගි වන ක්‍රීඩකයන් ඉහත කී විභාග දෙකටම පෙනී සිටීමයි.
කොරෝනා වයිරස් වසංගතයේ බලපෑම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ක්‍රීඩකයින් ක්‍රියාකාරී මට්ටමේ නොසිටීම නිසා තරගය පැවැත්වෙන කාල සීමාව දින දෙකක්ද, දින තුනක්ද යන්න තවමත් සාකච්ඡා මට්ටමේ පවති. පාසල් දෙකෙහිම සංවිධායක කමිටු තරගය දින දෙකකට සීමා කිරීමට එකඟ වී ඇති නමුත් සම්පූර්ණ දින තුනක තරගයක් පැවැත්වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් පසුව තරගය පැවැත්වීමට තීරණය කළහොත් මිස, දින තුනක තරගයක් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයින්ට යෝග්‍ය නොවනු ඇති බව සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂක සහ ක්‍රිකට් අධීක්‍ෂක දිනේෂ් කුමාරසිංහ මහතා ඩේලී මිරර් පුවත් පතට පවසා තිබේ.
“පසුගිය වසරේ මාර්තු සිට මේ දක්වා කිසිදු ක්‍රිකට් තරගයක් පවත්වලා නෑ. අවුරුදු 15 න් පහළ හෝ වයස අවුරුදු 17 න් පහළ තරගත් පවත්වා නෑ... ඒ නිසා පුහුණු තරගයක්වත් නැතිව, මාර්තු අවසානයේ හෝ අප්‍රේල් මස මුලදී දින තුනක තරඟයකට යාම අමරුයි”
“දින තුනක තරගයක් නම් ක්‍රීඩකයින් ඒ සඳහා ශාරීරිකව හොඳින් සූදානම් විය යුතුයි. නැත්නම් කණ්ඩායම් දෙකේම බොහෝ ක්‍රීඩකයින් ආබාධවලට ලක්වෙන්න පුලුවන්. කෙසේවෙතත්, දින තුනක තරගයක් පැවැත්වීමට අපි කැමැත්තෙන් සිටිනවා” යයිද දිනේෂ් කුමාරසිංහ මහතා ඩේලි මිරර් පුවත් පතට පවසා තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.