Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක්

යුපුන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක්

editorial - 2022 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් තත්පර 9.96ක දක්ෂතාවක් දක්වමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන අබේකෝන්ට ඉදිරි ක්‍රීඩා පුහුණුවීම් පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ලබාදීමට එකඟ වී තිබේ.

එය ශ්‍රී ලංකාවේ අද මුදලේ වටිනාකම අනුව රුපියල් තුන් කෝටි අසූ ලක්ෂයකට ආසන්න අගයක් ගනී.

වසර දෙකක් තුළදී ඔහුට ඩොලර් 50,000 ක් බැගින් එම ප්‍රදානය සිදු කිරීමේදී මාසිකව ඩොලර් 4000ක් පමණ වන මුදලක් ඉතාලියේ සිට පුහුණුවීම් කරන ඔහුට ලබාදීමට මෙම පරිත්‍යාගය යටතේ සිදුකෙරේ.

පසුගිය ඉරිදා (3) ස්විස්ටර්ලන්තයේදී පැවැති අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලියකදී 27 හැවිරිදි යුපුන් අබේකෝන් තත්පර 9.96ක දක්ෂතාවයක් දක්වමින් මීටර් 100 (පිරිමි ඉසව්ව) ජය ගත්තේ පළමු වතාවට දකුණු ආසියානු රටක ධාවකයෙකු තත්පර 10ට අඩුවෙන් එම ඉසව්ව අවසන් කිරීමට සමත් වෙමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල (2020) ද නියෝජනය කළ යුපුන් ඇමරිකාවේදී ලබන ජුලි 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන 18 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා ගත් එකම ක්‍රීඩකයායි.

ඒ හැරෙන්නට ඔහු ජූලි 22 වැනිදා එංගලන්තයේ ‘මැන්චෙස්ටර්’ නුවරදී ඇරඹෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමටත් ඇතුළත්ව සිටියි. කෙසේ වුවත් ස්විස්ටර්ලන්තයේ තරග ජයග්‍රහණයෙන් පසුව යුපුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සිය දක්ෂතා ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් සහයෝගයක් නොලැබුණු බවයි.

එහෙත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ යුපුන්ට පසුගිය වසර දෙකක කාලය තුළදී පුහුණුවීම් විධිමත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර්, යුරෝ හා රුපියල් ප්‍රදානයන් ගණනාවක්ම සිදු කර තිබෙන බවයි.

උසස් දක්ෂතා ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඔහුට තවදුරටත් රුපියල් ලක්ෂයක් බැගින් ලබාදීමට හැරෙන්නට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඔහුට තවදුරටත් වැටුප් ගෙවීම් කරනු ලබයි.

ස්විස්ටර්ලන්තයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් යුපුන් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේසේකර මහතාට දුරකථනයෙන් කතාකර සිය කනගාටුව පළකර ඇතැයිද වාර්තාවේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘ලංකාදීප’යට කළ විමසුමකදී පැවසුවේ පසුගිය වසර කීපය තුළදී යුපුන්ට ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 73 ක් පමණ ලබාදී තිබෙන බවයි.

කෙසේ වුවත් ඔහුට මෙරටින් ලබාදෙන ප්‍රදානයන් තවදුරටත් විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිත්‍යාග යොදා ගන්නා බවත් ඔහු පැවසීය.

යුපුන්ට ලබාදුන් ඩොලර් ලක්ෂයේ පරිත්‍යාගය හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (7) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් කෝටි දහයක්ද එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිවැය සඳහා තවත් රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයක මුදලක් ද ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කළේය.

එහිදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය රිජ්වේ ළමා රෝහලට හා මහරගම අපේක්ෂා රෝහලට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පරිත්‍යාග කළේය. ඖෂධ හා සත්කාර සේවා ලබා ගැනීම සඳහා ලබාදුන් එම මුදල රුපියල් හත්කෝටි දහඅට ලක්ෂයකට ආසන්න වටිනාකමක් උසුලයි.

මෙම සියලු පරිත්‍යාගයක් බාර ගනිමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රටේ සෑම කේෂ්ත්‍රයකටම ආදර්ශයක් ලබා දී තිබෙන බවයි.


අදහස් (0)

යුපුන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.