Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය කඩුලු 7 කින් මහනුවර පරදවයි

යාපනය කඩුලු 7 කින් මහනුවර පරදවයි

editorial - 2023 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාගංණයේදී අද (28 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ යාපනය කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ, ඕවර 39.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 68 කදී හතරේ පහර 13 ක් සමග ලකුණු 82 ක් රැස්කරමින් යාපනය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

එහිදී නිෂාන් මධුෂ්ක (52) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නවෝද් සමත් විය. පන්දු 46 කට මුහුණදුන් නිෂාන්, හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියේ එක්වූ කසුන් අබේරත්න (නොදැවී 54) සහ නායක ජනිත් ලියනගේ (53) අර්ධ ශතක ලබමින් යාපනය කණ්ඩායමේ ජය තහහවුරු කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමේ ඉනිම, ශිරාන් ප්‍රනාන්දු ප්‍රමුඛ යාපනය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.4 ක් අවසන් වන විට ලකුණු 249 කට සීමා විය. මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සඳුන් වීරක්කොඩි එහිදී පන්දු 72 කින් ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු, ඕවර 9.4 ක් යවමින් ලකුණු 62 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. මහනුවර පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් දිලුම් සුදීර සහ ජෙෆ්රි වැන්ඩසේ එහිදී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. 

මහනුවර පිල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 249 
(නිරෝෂන් දික්වැල්ල 27, ඕෂද ප්‍රනාන්දු 18, සඳුන් වීරක්කොඩි 62, ළහිරු උදාර 39, අසේල් සිගේරා 50, මොවින් සුබසිංහ 25, ශිරාන් ප්‍රනාන්දු 62/4, දිලුම් සුදීර 31/2, ජෙෆ්රි වැන්ඩසේ 50/2) 

යාපනය පිල - ඕවර 39.2 කදී කඩුලු 3 ක් දැවී 251
(නවෝද් පරණවිතාන 82, නිෂාන් මධුෂ්ක 52, කසුන් අබේරත්න නොදැවී 54, ජනිත් ලියනගේ 53) 

 


අදහස් (0)

යාපනය කඩුලු 7 කින් මහනුවර පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.