දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ ලිඞ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් රැස් කළ අගනා ශතකයත්, ප්‍රතිවාදී පන්දු යවන්නන් තලා දමමින් මුයින් අලී නොදැවී ලබාගත් වේගවත් අර්ධ ශතකයත් නිසා පළමු එක්දින තරගයේදී ලකුණු 72ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.
මේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනාගේ පිතිහරඹයේ ගෞරවය රැක දුන් වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් ඇතුලු එංගලන්ත පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු ඉනිම ඕවර 45 කදී ලකුණු 267 කට සීමා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරිමට සමත්වූහ.
ලකුණු 340 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුල්ල ලකුණු 33 දී බිඳ වැටුණත් හෂීම් අම්ලා සහ ෆෆ් ඩු ප්ලෙසිස් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වීම කැපී පෙනුණි. ඒ වනවිට ඕවර 25.3 කදී දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වී තිබූ ලකුණු සංඛ්‍යාව 195 ක් වූ අතර ඔව්හු කඩුලු 9 ක්ම අතැතිව සිටියහ.
මේ පළපුරුදු පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාව තරගය උඩුයටිකුරු කරවීමට හොඳටෝම ප්‍රමාණවත් වන බව සත්කාරකයන් දැන සිටියේ පිතිහරඹ ලැයිස්තුවේ ඊළඟට එන නායක ඒ.බී. ඩිවිලියර්ස්, ජේ.පී. ඩුමිනි සහ ඬේවිඞ් මිලර් වැනි ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ හැකි වර්ගයේ පිතිකරුවන් ද සිටි බැවිනි. එහෙත් තරගයේ වාසිය එංගලන්තය දෙසට හැරවූ මාක් වුඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට අම්ලා හසුකරගැනීමෙන් පසුව දෙදෙනාගේ සම්බන්ධතාව එතැනින් නිමාවට පත්විය.
මුලු ලකුණු සංඛ්‍යාව 149ක්ව තිබියදී ඩුප්ලෙසිස් දවාගත් ලියම් ප්ලන්කට් එංගලන්ත පිලට ජයග්‍රහණයේ මං විවර කර දුන්නේය. කඩුලු 4 ක් දැවීයාමෙන් පසුව ලකුණු 200 සීමාව පසුකළ දකුණු අප්‍රිකානු පිලේ තවත් කඩුලු 4 ක්ම ලකුණු 22 කදී බිඳ වැටීමෙන් පසුව ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නංවාගැනීමට එංගලන්තයට හැකිවිය.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ඩිවිලියර්ස්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත පිලේ පළමු කඩුල්ල දෙවැනි ඕවරයේදීම ලකුණු 3 කදී බිඳ වැටුණේ ජේසන් රෝයි එක් ලකුණකට දැවීයාමත් සමගිනි. එහෙත් ඇලෙක්ස් හේල්ස් සහ ජෝ රූට් එක්ව දෙවැනි කඩුල්ලට 98 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් එංගලන්ත ඉනිම පිළිසකර කිරීමට සමත්වූහ.
අනතුරුව පිටියට පිවිසි නායක ඔයින් මෝගන් සිය එක්දින තරග දිවියේ 11 වැනි ශතකය වාර්තා කරමින් එංගලන්තයට ගෞරවනිය ලකුණු සංඛ්‍යාවක් ගෙනදීමට සමත්වූයේ මුයින් අලී සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 117 ක වේගවත් සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. පන්දු 93 කට මුහුණ දුන් එංගලන්ත පිලේ නායකයා සිය ඉනිමට හතරේ පහර 7ක් සහ දැවැන්ත හයේ පහර 5ක් එකතු කරගත් අතර පන්දු 51ක් පමණක් වැයවූ අලීගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.
එංගලන්තය - ඕවර 50කදී කඩුලු 6ක් දැවී ලකුණු 339
(ඇලෙක්ස් හේල්ස් 61, ජෝ රූට් 37, ඔයින් මෝගන් 107, බෙන් ස්ටෝක්ස් 25. මුයින් අලී නොදැවී 77, ක්‍රිස් මොරිස් 61/2, අන්දිලි පෙහ්ලුක්වායෝ 59/2)
දකුණු අප්‍රිකාව - ඕවර 45කදි සියලුදෙනා දැවී ලකුණු 267
(හෂීම් අම්ලා 73, ෆෆ් ඩු ප්ලෙසිස් 67, ඒ.බී.ඩිවිලියර්ස් 45, ක්‍රිස් වෝක්ස් 38/4, ආදිල් රෂීඞ් 69/2, මුයින් අලී 50/2)
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.