‘ගුණ ජය සතුට පදනම’ සිවුවැනි වරටත් සංවිධානය කරන ‘මුරලි සාම කුසලාන’ ක‍්‍රිකට් තරගාවලිය මේ මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා උතුරු පළාතේ ක‍්‍රීඩාංගණ හතරකදී දින පහක් පුරා පැවැත්වේ. යාපනය, ඔඞ්ඩුසුඩාන්, මාන්කුලම් සහ කිලිනොච්චි යන නගරවලදී මෙම තරග පැවැත්වේ.
ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තිදෙනකු වන මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ‘ගුණ ජය සතුට පදනමේ’ ක‍්‍රියාකාරී සමාජිකයෝ වෙති.
මෙම තරගාවලියට වයස 19 න් පහළ බාලක තරගාවලියක් සහ අන්තර් සමාජ වයස 23 න් පහළ කාන්තා තරගාවලියක්ද ඇතුළත් වේ. බාලක තරගාවලියට කණ්ඩායම් 16 ක් ද, කාන්තා තරගාවලියට කණ්ඩායම් 8 ක් ද, සහභාගි වීමට නියමිතය.
බාලක තරගාවලියට කොළඹ ආනන්ද විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල ප‍්‍රබල කණ්ඩායම් ද ඇතුළත්ව සිටියි. යාපනය, මොණරාගල, උඩරට, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව, කිලිනොච්චි සහ මුලතිව්, මන්නාරම සහ වව්නියාව, අන්තර්ජාතික පාසල් ඒකාබද්ධ කණ්ඩායම් ද තරගාවලියට සහභාගි වෙයි.
එහිදී අදහස් දැක්වූ ‘ගුණ ජය සතුට පදනමේ’ නිර්මාතෘ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ උප සභාපති කුෂිල් ගුණසේකර මහතා පැවසුවේ මෙම තරගාවලිය උතුර සහ නැගෙනහිර පැවැත්වීමෙන් එම ප‍්‍රදේශවලින් ක‍්‍රීඩකයන් ජාතික තලයට ගෙන ඒමේ කාර්යය ආරම්භ වී ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලූ ලාභියා වන හිටපු දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පැවසුවේ මෙම තරගාවලිය තමන්ගේ නමින් හැඳින්වීම විශාල ගෞරවයක් බවයි.
”මේ තරගාවලිය ඉතාමත්ම පොඩියට ආරම්භ කළේ. සිවුවැනි වසර වන විට ඉතාමත් දියුණු තත්ත්වයට පත්වෙලා කණ්ඩායම් 24 ක් සහභාගි වන තරගාවලියක් වෙලා තිබෙනවා” යැයි මුරලිදරන් වැඩි දුරටත් පැවසීය.
කුමාර් සංගක්කාර අදහස් දක්වමින් පැවසුවේ වසර ගණනාවක් පැවැති සිවිල් යුද්ධය නිමා වීමෙන් පසුව උතුර සහ දකුණ සම්බබන්ධ කිරීමට මෙම තරගාවලිය ඔස්සේ තමන් ද නියෝජනය කරන ‘ගුණ ජය සතුට පදනම’ බලාපොරොත්තු වූ බවයි.
”යුද්දය අවසන් වීමෙන් පසුව අපිටත් පොඩි චකිතයක් තිබුණා ඒ ප‍්‍රදේශයට යන්න. ඒ වගේම ඒ ප‍්‍රදේශයේ ජනතාවටත් තිබුණා”
”මෙම තරගාවලිය මගින් අපි උත්සාහ කරන්නේ ඒ සුහදතාව වර්ධනය කිරීමට මග පාදා ගැනීමයි” යැයි සංගක්කාර වැඩි දුරටත් පැවසීය.
මෙම තරගාවලිය මේ වන විට උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවට වාර්ෂික සැණකෙළියක් බවට පත්ව ඇති බව පසුගිය වසරේ සහභාගි වූ බොහෝ දෙනෙක් පැවසූහ. තරගාවලිය සංවිධානය කිරීමට යුද හමුදාව ද විශේෂ සහයෝගයක් දක්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.