Last Update  :  2025-09-03 21:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලදිවයින් පාපන්දු පිල හෙට එයි

මාලදිවයින් පාපන්දු පිල හෙට එයි

editorial - 2025 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව සමග සුහද පාපන්දු තරග දෙකකට සහභාගිවීම සදහා මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායම හෙට (4) පෙරවරුවේදී  දිවයිනට ළගාවීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව සමග ලබන සෙනසුරාදා (6) හා අගහරුවාදා (9) සුහද ජාත්‍යන්තර පාපන්දු තරග දෙකකට ඔවුන් සහභාගි වේ.

එම තරග දෙකම පස්වරු 5.00 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ජාත්‍යන්තර පාපන්දු පිටියේ මෙම දෙරට අවසන් වතාවට 2022 ආසියානු කුසලාන (2023) මූලික වටය යටතේ උස්බෙකිස්තානයේ නමන්ගන් නුවරදී මුණ ගැසී තිබේ. එහිදී ශ්‍රී ලංකාව ගෝල 1 - 0 කින් මාලදිවයිනට පරාජයවී තිබේ. කෙසේවූවත් මෙම දෙරට මේ දක්වා ජාත්‍යන්තර තරග බිමේ මුණ ගැසීමේදී  ශ්‍රී ලංකාවට එතරම් හොද කීර්තිනාමයක් හිමිව නැත. එහි විශේෂත්වයක්ද ඇත.

ඒ මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේදී මුල් යුගයේ ශ්‍රී ලංකාවෙන් ගුරුහරුකම් ලබා ගත් ඔවුන් පසුකාළීනව ජාත්‍යන්තර තරග බිමේ ශ්‍රී ලංකාව අභිබවා යමින් දස්කම් දැක්වීමට සමත්වීමයි.
ශ්‍රී ලංකා පුහුණුකරු පී.ඩී.සිරිසේන මහතා එහිදී 1988 දී මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත.  

අවසන් වරට ශ්‍රී ලංකාව විසින් මාලදිවයින පරාජය කර ඇත්තේ වසර 2002 දීය. සටහන්වී තිබෙන තරග 20 කදී ශ්‍රී ලංකාව මාලදිවයින පරාජය කර ඇත්තේ ඉන් තරග දෙකකදී පමණි. එහෙත් තරග නවයක් ජයපරාජයෙන් තොරව අවසන් කර ඇත. සෙසු තරග නවයක් ශ්‍රී ලංකාව පරාජයවී තිබේ.

වසර 2013 සාෆ් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ගෝල 10 - 0 කින් මාලදිවයින හමුවේ පරාජයවීම එදා මෙදා තුර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු පිටියේ ලද දැවැන්තම පරාජයක් ලෙස සැළකේ.

 මේ වන විට ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව 196 වැනි ස්ථානයේත් මාලදිවයින171 වැනි ස්ථානයේත් පසුවේ. මාලදිවයින සමග තරග නිමාවීමෙන් පසුව ලබන ඔක්තෝබර් 9 වැනිදා තුර්ක්මෙනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව ආසියානු කුසලාන (2027) නිර්දේෂිත තරග වටයේ තරගයකට සහභාගි වෙයි. නැවැත දෙරට යළිත් ඔක්තෝබර්14 වැනිදා එහිම තවත් තරගයකට ඇස්ගාබට් නුවරදී මුණ ගැසේ.

ඉහත ආසියානු කුසලාන තරග වටය යටතේ ඔක්තෝබර් 9 වැනිදාම දූශාන්බේ නුවරදී මාලදිවයින තජිකිස්ථානය මුණ ගැසේ. මෙම වසරේදී මාලදිවයින මෙතෙක් සහභාගිවූ ජාත්‍යන්තර තරග හතරේදීම පරාජයවී තිබේ. ඒ ඉන්දියාව, පිලිපීනය, සිංගප්පූරුව හා ටිමෝරයට එරෙහිවය.

ශ්‍රී ලංකාව මෙම වසරේ මේ දක්වා සහභාගි වූ ජාත්‍යන්තර තරග හතරකදී ලාඕසය (2 -1), බෲනායි (1- 0), චීන - තායිපේ (3 -1) සමග තරග තුනක් ජය ගැනීමට සමත්ව තිබේ. තායිලන්තය සමග බැංකොක් නුවරදී පැවැති ආසියානු කුසලාන (2027) නිර්දේශ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට (1 - 0) පත් විය.

කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතා වසර 2024 අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස කටයුතු කරයි. සංචාරක මාලදිවයින් පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු  ධූරය මේ වන විට හිස්ව පවතින අතර මාලදිවයින් ජාතික අහමඩ් ෂකීර් ශූහායිර් මහතා එම ධූරයේ දැනට වැඩ බලයි.

 


අදහස් (0)

මාලදිවයින් පාපන්දු පිල හෙට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.