Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාතර සිටි - ජාවාලේන් කරට කර සටනක
ශූරයන්ගේ ලීගය

මාතර සිටි - ජාවාලේන් කරට කර සටනක

editorial - 2022 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තරග 91 කින් සමන්විත ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ තරග 62 ක් අවසානයේදී නිකුත්ව තිබෙන ප්‍රසාද ලකුණු සටහනට අනුව ශූරතාව සඳහා ජාවාලේන් කණ්ඩායම හා මාතර සිටි කණ්ඩායම අතර කරට කර සටනක් මේ වනවිටත් නිර්මාණය වී තිබේ.

ඒ අනුව පහුගිය සති අන්තයේදී නව වැනි අදියර තරග නිමාවේදී මෙම දෙපිල සම ප්‍රසාද ලකුණු 25 බැගින් ලබමින් කණ්ඩායම් 14 අතරේ තවදුරටත් අපරාජිතව පසුවන කණ්ඩායම් දෙක බවට පත්ව සිටියි. කෙසේවුවත් තරගාවලියේ පැවැත්වීමට ඉතිරිව තිබෙන ඉතිරි තරග ගණන 28 ක් වන අතර බදාදා (17) පස්වරු 3.30 ට කුරුණෑගල මාලිගාපිටියේදී යාපනය ශාන්ත මේරි පිල හා ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිල අතර නව වැනි අදියරේ තවත් එක් තරගයක් පැවැත්වීමට ඉතිරිව ඇත.

ජාවාලේන් ක්‍රීඩා සමාජය මෙන්ම මාතර සිටි ක්‍රීඩා සමාජයද මේ මොහොත වන විට තරග නවයකින් අටක් බැගින් ජය ගැනීමට සමත්ව තිබේ. කෙසේවුවත් ප්‍රතිවාදීන් හමුවේ වැඩිම ගෝල ගණනක් රැස්කිරීමේ පදනම මත නව වැනි අදියර අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ජාවාලේන් කණ්ඩායමයි.

මාවනැල්ල සෙරන්ඩිබ් කණ්ඩායම තරග හතක් ජය ලබා එක් තරගයක් ජයපරාජය වීමෙන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ තෙවැනි ස්ථානයේය. ජාවාලේන් කණ්ඩායම අවසන් වරට පැවැති 2019 තරගාවලියේදී 12 වැනි ස්ථානයත් මාතර සිටි කණ්ඩායම නව වැනි ස්ථානයත් අත්කර ගෙන තිබේ.

එහිදී අවසන් (17) වැනි ස්ථානය දක්වා පසුබැසීමට ලක්වූ මීගමුව යූත් කණ්ඩායම මේ වනවිට තරගාවලියේ යම් ප්‍රගතියක් කරා පැමිණෙමින් නව වැනි අදියර තරග නිමාවේදී ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ සිව්වැනි ස්ථානයේය. කෙසේවුවත් පොලිස් ක්‍රීඩා සමාජය තවදුරටත් 13 වැනි ස්ථානයේ රැඳී සිටියත් ඔවුන් මෙතෙක් තරගාවලියේ එකම ජයග්‍රහණය මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව වාර්තා කිරීමට පහුගිය සෙනසුරාදා (13) සුගතදාස පිටියේදී සමත්විය. ඒ එතෙක් මුහුණදී තිබුණු තරග අටකින් හයක් පරාජයට පත්ව ඉතිරි තරග දෙකත් සම කිරීමෙනි.

ශූරයන්ගේ තරගාවලියේ වරක් කුසලාන දිනා ගැනීම තරම් ප්‍රබල තත්ත්වයක පසුවූ අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය මෙවර මේ වනවිට වඩාත් අවාසනාවන්ත තත්ත්වයක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් (14 වැනි) ස්ථානයේ රැඳී සිටියි. ඔවුන් ගෙවුණු සතියේ තරගයකදී පෙලිකන්ස් කණ්ඩායම හමුවේ ගෝල 8 – 1 ක දැවැන්ත පරාජයක් ලැබීය.

ශූරයන්ගේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන තවදුරටත් යාවත්කාලීන කර ඇත්තේ ජුනි 18 වැනිදා යාපනය දොරේඅප්පා පිටියේදී පැවති යාපනය ශාන්ත මේරි කණ්ඩායම හා බේරුවල සුපර්සන් පිල අතර තරගයේ තීරණය තාවකාලිකව අත්හිටුවමිනි. මෙම තරගය ජය ගත්තේ ශාන්ත මේරි කණ්ඩායම විසිනි. ඊට එරෙහිව ප්‍රතිවාදී සුපර්සන් කණ්ඩායම ගොනු කළ විරෝධතාවය මෙතෙක් විභාග කර අවසන් වී නැත.

මෙවර තරගාවලියේදී පිළිමලුන් පිටුදැකීමේ තරග වටයකින් තොරව වැඩිම ප්‍රසාද ලකුණුලාභියා වන කණ්ඩායමට කුසලාන හා රුපියල් මිලියනයක ත්‍යාගය ප්‍රදානය වන බැවින් ඉදිරි සියලු තරගයන්හි තීරණ ශූරතාව කරා ළඟාවී සිටින කණ්ඩායම්වලට එක ලෙස තීරණාත්මක වේ.

මෙතෙක් තරගාවලියේ නිකුත් වූ ප්‍රතිඵලයන්ට අනුව මාවනැල්ල සෙරන්ඩිබ් කණ්ඩායමට ක්‍රීඩා කරන විදේශීය ක්‍රීඩක ඇසන්ටේ එවන්ස් ගෝල 14 ක් ලබමින් වැඩිම ගෝල ලාභියා බවට පත්ව සිටියි. ඒ අතර වැඩිම ගෝල ලාභීන් වන ක්‍රීඩකයන් 11 දෙනෙකු අතරින් මේ වනවිට දෙවැනි තැන පසුවන්නේ ද ජාවාලේන් කණ්ඩායමට ක්‍රීඩා කරන විදේශීය ක්‍රීඩක ඔලුවාසියුන් ඔලවේලාය. ඔහුගේ ගෝල ගණන දැනට 13 කි.

තරග ප්‍රතිඵල

පොලිස් පිල විසින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ පිල පරාජය කරන ලදී (2 – 1)

බේරුවල සුපර්සන් පිල හා කොළඹ නිව් ස්ටාර් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1 – 1)

කුරුණෑගල ෆෙලිකන්ස් පිල විසින් අනුරාධපුරය සොලිඩ් පිල පරාජය කරන ලදී (8 – 1)

ජාවාලේන් පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදී (5 – 1)

මාතර සිටි පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදී (2 – 1)

මාවනැල්ල සෙරන්ඩිබ් පිල හා ගමනාගමන පිල අතර තරගය සමයි (2 – 2)

 


අදහස් (0)

මාතර සිටි - ජාවාලේන් කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.