Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෙන්ලා දකුණු අප්‍රිකාව මෙල්ල කරති
ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගය

බෙන්ලා දකුණු අප්‍රිකාව මෙල්ල කරති

editorial - 2022 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත නායකත්වයට පත්වීමෙන් පසුව සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් බෙන් ස්ටෝක්ස් (103) සහ කඩුලු රකින්නා වන බෙන් ෆෝක්ස් (නොදැවී 113) එක්ව කළ පිතිහරඹය හේතුවෙන් මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ වාසිය සත්කාරකයන් සතුවී තිබේ. තරගයේ දෙවැනි දිනය වූ  සිකුරාදා (26 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 415 ක් ලබාගත් එංගලන්තය, දකුණු අප්‍රිකානුවන් අභිබවා ලකුණු 264 ක මුල් ඉනිමේ වාසියක් ද අත්කරගත්තේය.

මෙම ලකුණු 113 බෙන් ෆෝක්ස්ගේ හොඳම ටෙස්ට් ඉනිම මෙන්ම ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකයද වෙයි.

2021 - 2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලියේ පළමු තරගය ජයගත් නමුත් දෙවැනි තරගයේ දෙවැනි දිනයේදීම අමාරුවේ වැටී සිටී. කෙසේ වෙතත් සිකුරාදා දිනය අවසානයේ ඉතිරිව තිබූ ඕවර 9 ප්‍රවේසමෙන් ගෙවා දැමූ දකුණු අප්‍රිකානුවෝ, තමන්ගේ අවාසිය ලකුණු 241 ක් දක්වා අඩුකර ගත්හ.

පළමු දිනය නිමාවේදී කඩුලු 3 කට ලකුණු 111 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුල්ලේ  රැඳී සිටි පිතිකරුවන් වූයේ සැක් ක්‍රෝලි සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනාය. එහෙත් සිකුරාදා පෙරවරුවේදී පන්දු 6 ක් ඇතුළතදී මේ දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූ ඇන්රික් නෝයේ, ලකුණු 147 දී එංගලන්තයේ පස්වැනි කඩුල්ලත් බිම දැම්මේය.

දකුණු අප්‍රිකානුවන්ගේ සැනසීම පැවැතියේ ටික වේලාවක් පමණි. නායක බෙන් ස්ටෝක්ස් සහ කඩුලු රකින්නා වන බෙන් ෆෝක්ස් එක්ව දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳ දැමූහ. දකුණත් - වමත් පිතිකරු සුසංයෝගයෙන් හයවැනි කඩුල්ල සඳහා එක්වූ ලකුණු සංඛ්‍යාව 173 කි.

පැය 4 කට ආසන්න කාලයක් පිටියේ සිටි බෙන් ස්ටෝක්ස් හතරේ පහර 6 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළේය. ෆෝක්ස්ගේ පිතිහරඹයට ඇතුළත් වූයේ හතරේ පහර 9 කි.

වසර කිහිපයක්ම කුමාර් සංගක්කාර ක්‍රීඩා කළ සරේ ප්‍රාන්ත කණ්ඩායමේ කඩුලු රකින්නා වන බෙන් ෆෝක්ස් සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් ක්‍රීඩකයෙකි. වසර 2018 දී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී ලබාගත් ශතකයෙන් පසුව, බෙන් ෆෝක්ස් ලබාගත් දෙවැනි ටෙස්ට් ශතකය මෙයයි. අවස්ථා ගණනාවකදීම, විවිධ ශාරීරික ආබාධ හේතුවෙන්, 29 හැවිරිදි ෆෝක්ස්ගේ තරග දිවියට බලපෑම් එල්ල විය.

ස්ටෝක්ස් ලකුණු 88 ක් ලබා සිටියදී දකුණු අප්‍රිකානුවෝ දෙවැනි නව පන්දුව ලබාගත්හ. එයින් යැවූ පළමු පන්දුවම ස්ටෝක්ස් විසින් හතරේ සීමාවට යවන ලද නමුත් දෙවැනි පන්දුවෙන් ලැබුණු අසීරු උඩපන්දුව රැකගැනීමට එක්ස්ට්‍රා් කවර්ස් හි සිටි ඒඩ්න් මාක්රම්ට නොහැකි විය. මුහුණ දුන් 158 වැනි පන්දුවේදී ස්ටෝක්ස් සිය ශතකය සම්පූර්ණ කරන විට ඊට හයේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

ටෙස්ට් තරග 85 ක් ක්‍රීඩා කර ඇති බෙන් ස්ටෝක්ස් සිකුරාදා ලබාගත්තේ තම 12 වැනි ශතකය මෙන්ම දකුණු අප්‍රිකානුවන් හමුවේ ලබාගත් සිව්වැන්නයි.


දකුණු අප්‍රිකාව පළමු ඉනිම - 151 යි
(ඩීන් එල්ගා 12, කීගන් පීටර්සන් 21, ඒඩ්න් මාක්රම් 14, රාසි වැන්ඩර්’ඩසන් 16, කයිල් වර්රීන් 21, කගීසෝ රබාඩා 36, ඇන්රික් නෝයේ 10, ජේම්ස් ඇන්ඩසන් 32/3, ස්ටුවර්ට් බ්‍රෝඩ් 37/3, බෙන් ස්ටෝක්ස් 17/2)

එංගලන්තය පළමු ඉනිම - කඩුලු 9 ට 415 යි
(සැක් ක්‍රෝලි 38, ඔලී පෝප් 23, ජොනී බෙයාර්ස්ටෝ 49, බෙන් ස්ටෝක්ස් 103, බෙන් ෆෝක්ස් නොදැවී 113, ස්ටුවර්ට් බ්‍රෝඩ් 21, ඔලී රොබින්සන් 17, ජැක් ලීච් 11, කගීසෝ රබාඩා 110/2, ඇන්රික් නෝයේ 82/3, කේෂව් මහාරාජ් 78/2)

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 23
(සාල් අර්වී නොදැවී 12, ඩීන් එල්ගා නොදැවී 11)

- 213

 


අදහස් (0)

බෙන්ලා දකුණු අප්‍රිකාව මෙල්ල කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.