
මයිකල් බ්‍රාස්වෙල්ගේ අගනා ශතකය හේතුවෙන් අයර්ලන්තය කණ්ඩායමට එරෙහිව ඩබ්ලින්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 301 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට බ්ලෙයාර් ටික්නර් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 20 ක් රැස්කිරීමට සිදුවිය. එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට බ්‍රාස්වෙල් සමත් විය.
මුල් පෙළ පිතිකරුවන් කිහිපදෙනෙක්ම අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැගෙන වේගයෙන් ලකුණු රැස්කළ බ්‍රාස්වෙල් පන්දු 82 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 127 ක් රැස්කළේය. ඉෂ් සෝධි (25) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බ්‍රාස්වෙල්, ඉන් නොනැවතී ලොකී ෆර්ගසන් (8) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
ආරම්භක පිතිකරු මාටින් ගප්ටින් පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය. අයර්ලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කර්ටිස් කැම්පර් ලකුණු 49 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. මාර්ක් අඩෙයර් ලකුණු 43 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 300 ක් රැස්කළ අතර එහිදී ශතකයක් ලබාගැනීමට හැරී ටෙක්ටර් (113) සමත් විය. කර්ටිස් කැම්පර් (43) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටෙක්ටර්, කෙමෙන් කෙමෙන් අයර්ලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 47 කදී වාර්තා වූ කැම්පර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. ඇන්ඩි මැක්බ්‍රින් පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 39 ක්ද, සිමි සිං පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක්ද, ලෝකන් ටකර් පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් අයර්ලන්ත ඉනිම ගොඩනැගීම සඳහා ටෙක්ටර්ට අනගි සහායක් දුන්හ.
අයර්ලන්තය - ඕවර 50 කදී කඩුලු 9 කට 300
(ඇන්ඩි මැක්බ්‍රයන් 39,හැරී ටෙක්ටර් 113, කර්ටිස් කැම්පර් 43, ලෝකන් ටකර් 26, ජෝජ් ඩොක්‍රෙල් 18, සිමි සිං 30, ලොකී ෆර්ගසන් 44/2, ඉෂ් සෝධි 62/2, බ්ලෙයර් ටික්නර් 71/2)
නවසීලන්තය - ඕවර 49.1 කදී කඩුලු 9 කට 305
(මාටින් ගප්ටිල් 51, ටොම් ලේතම් 23, ග්ලේන් පිලිප්ස් 38, මයිකල් බ්‍රාස්වෙල් නොදැවී 127, ඉෂ් සෝධි 25, කර්ටිස් කැම්පර් 49/3, මාක් අඩෙයර් 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.