Last Update  :  2025-08-07 17:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට ලකුණු 33 ක ජයක්

බංග්ලාදේශයට ලකුණු 33 ක ජයක්

editorial - 2021 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

-------------------------
දමින්ද විජේසූරිය
-------------------------

ශ්‍රී  ලංකා කණ්ඩායමේ ගමන ඕවර 48.1 කදී නතර කළ බංග්ලාදේශ පන්දු යවන්නෝ ඩකාහිදී අද පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 33 ක ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන සුපිරි ලීගය වෙනුවෙන් තවත් ලකුණු 10 ක් ද එකතුකර ගත්තේය.

ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු සියල්ලම බිඳ වැටී තිබියදීත්, වනිඳු හසරංග සහ ඉසුරු උදාන දෙදෙනා කණ්ඩායම ගොඩගැනීමේ ධෛර්යවත් ගමනක යෙදෙමින් 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඒ වන විට තදින් වෙහෙසට පත්ව සිටි හසරංග ගැසූ පුල් පහරකින් ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි සිටි අෆිෆ් හොසේන් උඩපන්දුවක් රැකගැනීම නිසා දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටිණ. ඊළඟ පන්දුවේදී ඉසුරු උදානත් පිටියෙන් ඉවත් වූ හෙයින් අවසන පන්දු 36 දී ලකුණු 47 ක් ලබාගැනීමේ අභියෝගය අවසන් පිතිකරුවන් දෙදෙනාට බර වැඩි විය.

ධනුෂ්ක ගුණතිලක (21) සහ නායක කුසල් පෙරේරා (30) ඕවර 5 කදී ලකුණු 30 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් මෙහෙදි හසන් විසින් ධනුෂ්ක මුළාවේ දමා දවාගැනීම, ශ්‍රී ලංකා පිල පසුපසට ඇද දැමීමේ මූලික ප්‍රහාරය වූයේය. සකිබ් අල් හසන් පන්දුව අතට ගැනීමත් සමගම ග්‍රහණය දැඩිකළ බංග්ලාදේශ පන්දු යවන්නෝ ඕවර 5 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ නායකයා මෙන්ම උපනායකයාද ඇතුළුව ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු පිටියෙන් ඉවත් කරගත්හ.

කඩුලු 2 කට ලකුණු 80 ක් ලෙසින් තිබූ ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව සකිබ් සහ මෙහෙදි හසන් දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් ඕවර 9 ක් ඇතුළත කඩුලු 6 කට 102 ක් සේ වෙනස් විය. එතැන් සිට වනිඳු හසරංග සහ ඉසුරු උදාන මහත් උත්සාහයක නිරත වූ නමුත් ඒ වන විට ප්‍රමාද වී තිබිණ.

පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් අතර තිබූ මනා සම්බන්ධතාව නිසා බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 නිමා වන විට ලකුණු 257 කට සීමාකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් යැවුණු පන්දු 306 න් 147 ක්ම නිලකුණු පන්දු ලෙසින් සටහන් වූයේ පන්දු රකින්නන්ගේ උද්යෝගිමත් තරග රටාව හේතුවෙනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ඉලක්කගත පන්දු යැවීම හේතුවෙන් සිතූ සිතූ පහර ගැසීමට නොහැකිව සත්කාරක පිතිකරුවෝ අසරණ වූහ. ඕවර දෙකක් පමණක් යැවූ නමුත් ධනුෂ්ක ගුණතිලක වේගය අඩාළ කරමින් යැවූ පන්දුවකට සකිබ් අල් හසන් ගැසූ පහර වැරදීමෙන් පැතුම් නිස්සංකට උඩපන්දුවක් ලැබිණ.

ඕවර 20 නිමාවන විටත් ලකුණු ලබාගැනීමේ වේගය තිබුණේ 4.00 කට අඩුවෙනි. එහෙත් තරගයේ ග්‍රහණය ලිහිල් නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 40 වැනි ඕවරය වන විට එය 5.00 කට අඩුවෙන් රඳවා ගත්හ. එහෙත් අවසන් ඕවර 4 දී ලකුණු 37 ලබාගත් සත්කාරකයෝ කෙසේ හෝ ලකුණු 250 කඩයිම පැනගත්හ.

හැමදාමත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ හොඳින් පිත්ත හසුරුවන ටමිම් ඉක්බාල් අර්ධ ශතකයක් ලබාගත්තද ධනංජය ද සිල්වාගේ පන්දුවක් කඩුල්ල වෙත යා නොදී අවහිර කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඊළඟ පන්දුවේදී මොහොමඩ් මිතුන් ද ඒ ආකාරයෙන්ම දැවී ගිය අතර මෙම තීරණ දෙකම තුන්වැනි විනිසුරුවරයාට යොමුකළ බංග්ලාදේශ පිතිකරුවෝ පිට පිට පන්දු දෙකදී තමන්ගේ විතීවි අවස්ථා දෙකම අහිමි කරගත්හ.

පන්දු 87 කට මුහුණ දුන් මුෂ්ෆිකුර් රහීම් හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 84 ක් ලබාගත්තේ සිය පළපුරුදුම සගයා වන මහමදුල්ලා සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක් එකතු කරමිනි. ඒ වෙනුවෙන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 121 කට පමණක් වූවද මුෂ්ෆිකුර්ගේ පිතිහරඹය ඔහුට තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට තරම් ප්‍රමාණවත් විය.

 

 


අදහස් (1)

බංග්ලාදේශයට ලකුණු 33 ක ජයක්
  • බද්රානි Sunday, 23 May 2021 07:37 PM

    දක්ෂ බංගලාදේශ ක්‍රීඩකයින්ට සුබ පතන අතරම ඉතිරි තරග සියල්ල ජයග්‍රහණය කිරීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!! අර ලිස්ට් එකේ පහළම සිටින ලංකාව එල්ලේ ක්‍රීඩාවට යොමුකර වීමට සුදුසු කාලය හරි... අනික අපි දැන් දේශීය දේ අගය කරන දේශප්‍රේමයෙන් කුල්මත් වෙලා සිටින ජාතියක්නේ. ඔය සුද්දන්ගේ ක්‍රීඩා අපට වැඩක් නැහැ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.