Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට බැට දෙමින් ශ්‍රී ලංකාව සුපිරි වටයට
ආසියානු කුසලාන

බංග්ලාදේශයට බැට දෙමින් ශ්‍රී ලංකාව සුපිරි වටයට

editorial - 2022 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

අතිශය තියුණු තරගයකින් අනතරුව බංග්ලාදේශයට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව අද (1 වැනිදා) සමත් විය. මෙම පරාජයත් සමග බංග්ලාදේශයට මෙවර අසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ‍නොලබා හිස් අතින්ම යළි සිය රට බලා යෑමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මින් පෙර ලකුණු 194 ක් හඹාගොස් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේද බංග්ලාදේශය හමුවේමය.

ශ්‍රී ලංකා ඉනිමේ 10 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු (නොදැවී 10) තමා මුහුණදුන් පන්දු 3 න් 2 ක්ම හතරේ සීමාව කරා යවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

මන්දගාමී ආරම්භයක් ලබාගත්ද, මුස්තෆිසුර් රහමන් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ ‍සිවුවැනි ඕවරයේ සිට ප්‍රහාරය ඇරඹූ පැතුම් නිස්සංක (20) සහ කුසල් මෙන්ඩිස් (60) පළමු කඩුල්ල සඳහා පන්දු 33 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. කෙසේ වුවත් 6 වැනි ඕවරයේදී පැතුම් දවාගනිමින් එම සම්බන්ධතාව බිඳ දැමූ ඉබාදත් ‍හොසේන්, ඉන් නොනැවතී චරිත් අසලංකද (1) ආපයින්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දමමිනි.

දෙවැනි ඕවරයේදී ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ කඩුල් රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට ලබාදුන් පහසු උඩ පන්දුවක් ඔහු අතින් ගිළිහී යෑම නිසා කුසල්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීම අවස්ථාව උදා විය. ඉන් අනතුරුව 7 වැනි ඕවරයේදී මෙහෙදි හසන් යැවූ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමින් කුසල් දැවී ගියද, ඔහුගේ වාසනාවේ තරම කොතෙක්ද කිව‍හොත් පුනුරූපණ නැරඹීමේදී එම පන්දුව නිපන්දුවක් බවට තහවුරු විය.

පිට පිටම දෙවැනි වරටත් කණ්ඩායමේ අංක 4 ස්ථානයට තමා නොගැළපෙන බව සනාථ කළ ධනුෂ්ක ගුණතිලක, ලකුණු 11 කට දැවී ගියේ ෆයින්‍ ලෙග් කළාපයේ සිට ඉදිරියට දිවවිත් ටස්කින් අහමඩ් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේය. ප්‍රවේගකාරී පිතිකරුවකු ‍ලෙස සැලකෙන භානුක රාජපක්ෂටද අවශ්‍යම අවස්ථාවේදී කණ්ඩායම වෙනුවෙන් කිසිවක් කිරීමට නොහැකි වූ අතර ඉබාදත්ගේ තෙවැනි ගොදුර බවට පත්වන විට ඔහු ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.

කුසල් සමග එක්වූ නායක දසුන් ශානක පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ‍යේ බලාපොරොත්තු ගෙන ආවේය. කෙසේ වුවත් භානුක දැවී ගිය ආකාරයට සමානම අයුරින් අපර් කට් පහරක් ගැසීමට යෑමේදී කුසල්ද දැවී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ නළලත රැළි නංවමිනි. ඒ වන විට පන්දු 37 කට මුහුණදී සිටි කුසල්, හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසා තිබිණ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධ‍නයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබාගත්‍තේය. බංග්ලාදේශ කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය සටහන් විය. මින් පෙර අවස්ථා 2 කදී ලකුණු 215 ක් සහ 193 ක් රැස්කිරීමටද ඔවුන් සමත් වී තිබිණ.

ආරම්භයේ සිටම වේගවත් පිතිහරඹයක නිරත වූ බංග්ලාදේශ පිතිකරුවෝ අධිවේගී ඕවර 6 තුළ එක් කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් ලකුණු 55 ක් රැස්කළහ. එහිදී තරමක් වේගයෙන් ලකුණු රැස්කළ මෙහෙදි හසන් මිරාස්, පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 38 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

වනිඳු හසරංග යැවූ බංග්ලාදේශ ඉනිමේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී මිරාස් කඩුල්ල මුවාකළ බවට ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉල්ලීමක් කළද, ප්‍රධාන විනිසුරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එම තීරණ‍යෙන් සෑහීමකට පත්නොවූ ශ්‍රී ලංකා නායකයා එය තෙවැනි විනිසුරුට යොමුකළද ඉන් සිදුවූයේ ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක් අහිමිවීම පමණි.

කෙසේ වුවත් එම ඕවරයේම පස්වැනි පන්දුවේදී මිරාස් දවාගත් වනිඳු, බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල කළේය. ඉන් අනතුරු පන්දුව අතට ගත් චාමික කරුණාරත්න සිය පළමු ඕවරය ලකුණු 4 කට සීමා කරමින්, කවදත් ශ්‍රී ලංකාවට එළව එළවා පහරදුන් මුෂ්ෆිකුර් රහීම් (4) පිටියෙන් ඉවත් කළේ බංග්ලාදේශ කණ්ඩායමේ පීඩනය තවත් වැඩි කරමිනි.

නායකත්වයේ වගකීම ඉටුකරමින් කණ්ඩායමේ බර තම කර මතට ගත් සකීබ් අල් හසන්, අෆීෆ් හොසේන් හා එක්ව චාමිකගේ දෙවැනි ඕවරයේදී හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ පීඩනය යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හැරවීය. එහෙත් එය දිගින් දිගටම පත්වාගෙන යෑමට සකීබ්ට ඉඩක් නොදුන් මහීෂ් තීක්ෂණ ලකුණු 24 ක් ලබා සිටියදී ඔහුගේ කඩුල්ල බිඳ දැමුවේය.

බංග්ලාදේශ ඉනිමේ 12 වැනි ඕවරය යැවූ දිල්ෂාන් මධුෂංක එය ලකුණු 3 කට සීමා කළද, ඉන් අනතුරුව වනිඳු හසරංග යැවූ ඕවරයේ පන්දු දෙකකට පිට පිටම හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් බංග්ලාදේශ පිතිකරුවෝ යළිත් හිස එසවූහ. ඉන් අනතුරව දිගින් දිගටම පහර පිට පහර එල්ල කළ අෆීෆ් හොසේන් (39) සහ මහමදුල්ලා රියාද් (27), පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

සිය මංගල විස්සයි-20 කඩුල්ල ලෙස අෆීෆ් හොසේන් දවාගත් දිල්ෂාන් මධුෂංක, එම සම්බන්ධතාවට තිත තැබූ අතර වනිඳු හසංරංග අත‍ට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 22 කට මුහුණදී සිටි අෆීෆ්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අතුළත් වී තිබිණ. එතැන් පටන් බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 3 ක් එක්වන විට මහමදුල්ලාටද පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ වනිඳුගේ පන්දුවක් හමුවේ චාමික කරුණාරත්න රැකගත් උඩ පන්දුවක් හේතුවෙනි.

කෙසේ වුවත් ඉන් පසුබට නොවූ බංග්ලාදේශ පසුපෙළ පිතිකරුවෝ අවසන් ඕවර 2 තුළදී තවත් ලකුණු 36 ක් රැස්කරමින් තම කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ මො‍සැඩ්ඩෙක් ‍හොසේන්, පන්දු 9 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 24 ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

 

බංග්ලාදේශය
මෙහෙදි හසන් මිරාස් - ප.හසරංග                   38
සබීර් රහමන් - ඇ.කුසල් ප.අසිත                      5
සකීබ් අල් හසන් - ප.තීක්ෂණ                        24
මුෂ්ෆිකුර් රහීම් - ඇ.කුසල් ප.චාමික                  4
අෆීෆ් ‍හොසේන් - ඇ.හසරංග ප.මධුෂංක         39
මහමදුල්ලා රියාද් - ඇ.චාමික ප.හසරංග         27
මොසැඩ්ඩෙක් හොසේන් - නොදැවී                24
මෙහෙදි හසන් - ක.මු. කළා ප.චාමික               1
ටස්කින් අහමඩ් - නොදැවී                              11
අතිරේක                                                       10
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී             183

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
මුස්තෆිසුර් රහමන් සහ ඉබාදත් හොසේන්

කඩුලු වැටීම :
1-19(සබීර්), 2-58(මිරාස්), 3-63(මුෂ්ෆිකුර්), 4-87(සකීබ්), 5-144(අෆීෆ්), 6-147(මහමදුල්ලා), 7-159(මෙහෙදි),

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 4-0-26-1, මහීෂ් තීක්ෂණ 4-0-23-1, අසිත ප්‍රනාන්දු 4-0-51-1, වනිඳු හසරංග 4-0-41-2, චාමික කරුණාරත්න 4-0-32-2

 

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.මුස්තෆිසුර් ප.ඉබාදත්      20
කුසල් මෙන්ඩිස් - ඇ.ටස්කින් ප.මුස්තෆිසුර්     60
චරිත් අසලංක - ඇ.මහමදුල්ලා ප.ඉබාදත්         1
ධනුෂ්ක ගුණතිලක - ඇ.ටස්කින් ප.ඉබාදත්     11
භානුක රාජපක්ෂ - ඇ.නයීම් ප.ටස්කින්            2
දසුන් ශානක - ඇ.මෙ‍ාසැඩ්ඩෙක් ප.මෙහෙදි    45
වනිඳු හරසංග - ඇ.මෙහෙදි ප.ටස්කින්              2
චාමික කරුණාරත්න - දුවද්දී දැවී ගියා            16
මහීෂ් තීක්ෂණ - නොදැවී                                 0
අසිත ප්‍රනාන්දු - නොදැවී                                10
අතිරේක                                                       17
එකතුව ඕවර 19.2 කදී කඩුලු 8 ක් දැවී          184

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා :
දිල්ෂාන් මධුෂංක

කඩුලු වැටීම :
1-45(පැතුම්), 2-48(චරිත්), 3-67(ධනුෂ්ක), 4-77(භානුක), 5-131(කුසල්), 6-139(වනිඳු), 7-158(දසුන්), 8-171(චාමික)

පන්දු යැවීම :
මුස්තෆිසුර් රහමන් 4-0-32-1, ටස්කින් අහමඩ් 4-0-24-2, සකීබ් අල් හසන් 4-0-31-0, ඉබාදත් හොසේන් 4-0-51-3, මෙහෙදි හසන් 2.2-0-30-1, මෙහෙදි හසන් මිරාස් 1-0-11-0


අදහස් (0)

බංග්ලාදේශයට බැට දෙමින් ශ්‍රී ලංකාව සුපිරි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.