Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්
ආසියානු කුසලාන - 2025

බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

editorial - 2025 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉතා අසීරුවෙන් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් නමුත් සයිෆ් හසන් (61) සහ තව්හීද් රිදෝයි දෙදෙනා කළ ක්‍රමාණුකූල ආක්‍රමණය නිසා ඩුබායි නුවරදී අද (20 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 ක ජයක් ලබාගත්තේය. 

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන සැකැස්ම අනුව අද තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් බංග්ලාදේශය ලබාගත් ශුද්ධ ලකුණු වේගය තරගාවලියේ අවසන් අදියරේදී ඔවුනට ඉතාමත්  වාසිදායක වනු ඇත.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පාවකින් තොරව තැළුෑ ආරම්භක පිතිකරු සයිෆ් හසන් පන්දු 45 කින් ලකුණු 62 ක් ලබාගත්තේ හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කරමිනි. සිය පියාගේ අභාවයෙන් දින දෙකකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට එක්වූ දුනිත් වෙල්ලාලගේට හයේ පහර දෙකකින් සංග්‍රහ කළ යසිෆ් හසන් වනිඳු හසරංග හමුවේ තවත් හයේ පහරක් ගැසීමට උත්සාහ කිරීමේදී දැවී ගියේය. 

වෙල්ලාලගේට අද දවසේ තිබූ එකම සැනසීම වූයේ යසිෆ් හසන්ගේ උඩපන්දුව රැකගැනීම පමණි. 

යසිෆ් හසන් දැවී යනවිට ලකුණු 114 ක් පුවරුවේ තිබිණ. එතැන් සිට බංග්ලාදේශයට තිබුණේ පහසු ගමනකි. 

දසුන් ශානක (නොදැවී 64) සහ නායක චරිත් අසලංක (21) දෙදෙනා එක්ව ඉනිම අග්ගිස්සේදී කළ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්තේය. හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් ද සමගින් පන්දු 30 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ දසුන් ශානක පන්දු 37 කදී ලකුණු 64 ක් ලබාගත්තේ 172.97 ක ලකුණු රැස්කිරීමේ ප්‍රවේගයක් පවත්වා ගනිමිනි. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක ලිටන් දාස් පළමුවෙන්ම පන්දු යැවීම තෝරා ගත් නමුත් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක් පුවරුවට එකතු කළහ. පළමු ඕවර 6 නිමාවන විට ලකුණු 53 ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ තිබුණු අතර කඩුලු 9 ක් ඔවුන් අත තිබිණ. 

මැද පෙළ පිතිකරුවන් ද සාර්ථක පිතිහරඹයක නිරත වූ බැවින්, ඉනිම අග්ගිස්සට ආසන්න වෙද්දී ලකුණු 129 ක් පුවරුවේ තිබිණ. දසුන් ශානක, චරිත් අසලංක දෙදෙනා අවසන් ඕවර 4 න් ලකුණු 39 ක් උදුරා ගත් බැවින් සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූවද දෙවැනි වර පන්දුවට පහර දීමේදී පන්දුව ඉතාමත් හොඳින් පිත්තට ගලා ආයෙන් බංග්ලාදේශ පිතිකරුවෝ අපහසුවකින් තොරව ලකුණු ලබාගත්හ. 

සිය පියාගේ අභාවයෙන් දින දෙකකට පසුව දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ අතර තරගය ආරම්භ වීමට පෙර දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අභාවය වෙනුවෙන් දෙපිලේම ක්‍රීඩකයෝත් ක්‍රීඩාංගණයේ සිටි සෑම දෙනාමත් විනාඩියක නිහඬතාවක් පැවැත්වූහ. 

සුරංග වෙල්ලාලගේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කළු අත්පටි පැළඳ ක්‍රීඩා කළහ.

- 213 


අදහස් (0)

බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.