Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ කාන්තාවෝ ලකුණකින් දිනති
කාන්තා ලෝක කුසලාන - 2025

බංග්ලාදේශ කාන්තාවෝ ලකුණකින් දිනති

editorial - 2025 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කවීෂා දිල්හාරි (63) සහ නිලක්‍ෂිකා ද සිල්වා (75) දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම එතෙර කිරීමට දැඩි ප්‍රයත්නයක නිරත වූ නමුත් අවසන් ඕවර කිහිපයේදී පීඩනය වැඩිකළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන පෙරහුරු තරගයේදී එක ලකුණක සියුම් ජයක් අත්කර ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ඕවර 5 දී කඩුලු 5 ක් බිඳ වැටීම හේතුවෙන් ඔව්හු ලකුණු 241 කට දැවී ගියහ. 

ලකුණු 243 ක ඉලක්කයක් කරා යාම ආරම්භ කර මඳ වේලාවකින් චමරි අතපත්තු ලකුණු 8 කට දැවී යාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ධෛර්යය බිඳ දමන්නක් විය. එහෙත් ඉක්මනින්ම එම තත්ත්වයෙන් මිදුණු හසිනි පෙරේරා (34) සහ හර්ෂිතා සමරවික්‍රම (25) තම කණ්ඩායම අපේක්‍ෂිත මාවතට කැඳවාගෙන ආහ. 

විශ්මි ගුණරත්න ලකුණු නොලබා දැවීයාමත් 24 වැනි ඕවරයේදී හර්ෂිතා පිටියෙන් ඉවත් වීමත් හේතුවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4 ට  ලකුණු 86 ක් ලෙසින් දිස්විය. 
ශ්‍රී ලංකා පිල සිටියේ ජයග්‍රහණයට ලකුණු 157 ක් ඈතිනි. 

එතැනින් එක්වූ කවීෂා දිල්හාරි (63) සහ නිලක්‍ෂිකා ද සිල්වා (75) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක් එකතු කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. පිට ඉන්න පැත්තෙන් ක්‍රීඩිකාවන් තිදෙනකුම රඳවා තිබියදීත් බැක්වර්ඩ් පොයින්ට් හරහා පන්දුව හතරේ සීමාවට යැවූ කවීෂා පන්දු 63 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළාය. 

දෙදෙනා අතර සම්බන්ධතාව දිග්ගැස්සෙද්දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය හෙමි හෙමින් පල්ලම් බසින්නට විය. එහෙත් අනවශ්‍ය පහර කරා යමින් අවදානමකක් ගැනීමට කවීෂා මෙන්ම නිලක්‍ෂිකාත් ඉදිරිපත් නොවූයේ තමන්ගේ වගකීම තරගය අහවර කිරීම බව දැන සිටි බැවිනි. 

අවසන් ඕවර 10 ආරම්භ වන විටත් කවීෂා මෙන්ම නිලක්‍ෂිකාත් පිටියේ සිටියහ. ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ජයග්‍රහණය සඳහා ලකුණු 59 ක් අවශ්‍ය වී තිබිණ. එහෙත් කිසිවකු නොසිතූ අයුරින්, මහත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් කවීෂාගේ පිත්ත කඩුල්ලේ වැදීම හේතුවෙන් ඇය ලකුණු 63 කට දැවී ගියාය. එතැන් සිට යැවුණු ඕවර 5 දී ලකුණු ලබාගැනීමේ වේගය සීඝ්‍රයෙන් පල්ලම් බැස්ස හෙයින් ඉක්මන් වූ නිලක්‍ෂිකා ඊළඟ ඕවරයේදී නිෂිතා අක්තාර්ගේ පන්දුවක් මිඩ් විකට් කලාපයට ඉහළින් හතරේ සීමාවෙන් එපිටට යැව්වාය. 

ඊළඟ ඕවරයේ පිට පිට පන්දු දෙකකින් කඩුලු දෙකක් දවාගත් නහීදා අක්තාර් නැවත වරක් තරගයේ වාසිය තම පිල වෙත ඇදගත්තේ අවසන් ඕවර 3 න් ලකුණු 21 ක් ලබාගන්නා ලෙස ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන්ට අභියෝග කරමිනි. 
ඉලක්කය අවසන් පන්දු 12 න් ලකුණු 12 ක් දක්වා වෙනස් වූ නමුත් නිලක්‍ෂිකාගේ දැවී  යාමත් සමගින් සියලු බලාපොරොත්තු නිමාවිය. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් උඩපන්දු තුනක්ම ගිළිහී යාමෙන් උපරිම ප්‍රයෝජනය ගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ, නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 242 ක් ලබාගත්හ. උදේශිකා ප්‍රබෝධනී  විසින් සිය පළමු පන්දුවේදීම බංග්ලාදේශ ආරම්භක පිතිකාරිණිය ආපසු ක්‍රීඩාගාරයට යවන ලදි. එහෙත් රුබියා හයිදර් (33) සහ ශාර්මින් අක්තාර් (71) එක්ව බංග්ලාදේශය කණ්ඩායම ඉදිරියට තල්ලු කරගෙන ගියහ. 

රුබියා හයිදර් සහ අක්තාර් එක්ව කළ පිතිහරඹයේ වැදගත්ම කොටස වූයේ ඕවරයකදී ලකුණු 5.00 කට ආසන්න වේගයක් රඳවා ගැනීමයි. දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ හයිදර් ගැසූ ‘ලොෆ්ටඩ් ඕෆ් ඩ්‍රයිව්’ පහරකින් ඉගිළුණු පන්දුව ඩීප් මිඩ් ඕෆ් හි සිටි  මල්කි මදාරා අත පත්වීමෙනි. ඒ සමගම වාගේ තවත් කඩුල්ලක් දැවී ගිය නමුත් අක්තාර්ට එක්වූ නායිකා නිගාර් සුල්තානා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවාය. 

මේ අතරවාරයේදී පහසු උඩපන්දු දෙකක්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිළිහිණ. එයින් ප්‍රයෝජන ගත් සුමයියා අක්තාර් (38) සහ ෆාතිමා කාතුන් (නොදැවී 26) එක්ව ලකුණු 200 කඩඉමෙන් ඔබ්බට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

ශ්‍රී ලංකා කාන්තා පිලේ ඉදිරිපෙළ පන්දු යවන්නියන් වන අචිනි කුලසූරිය සහ මල්කි මදාරා දෙදෙනාම තරමක ප්‍රහාරයකට ලක්වූහ. ශ්‍රී ලංකා නායිකාව වන චමරි අතපත්තු, තමාත් ඇතුළුව පන්දු යවන්නියන් 9 දෙනකුගේ සේවය ලබාගත් නමුත් බංග්ලාදේශ පිතිකාරිණියන් පාලනය කිරීම තරමක් අසීරු විය. 9 වැනි පන්දු යවන්නිය වූ පියුමි වත්සලාත් ඕවර 4 ක් යැවූවාය. 

බංග්ලාදේශ කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 242 යි
(රුබියා හයිදර් 33, ශාමින් අක්තාර් 71, නිගාර් සුල්තානා 20, ශෝනා අක්තාර් 13, සුමයියා අක්තාර් 38, ෆාතිමා කාතුන් නොදැවී 26, රාබියා ඛාන් 10, මල්කි මදාරා 38/2, කවීෂා දිල්හාරි 24/2, දෙව්මි විහංගා 26/2) 

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 50 කදී සියලු දෙනා දැවී 241 යි
(හසිනි පෙරේරා 34, හර්ෂිතා සමරවික්‍රම 25, කවීෂා දිල්දහාරි 63, නිලක්‍ෂිකා ද සිල්වා  75, පියුමි වත්සලා 17, මරුෆා අක්තාර් 49/2, නහීදා අක්තාර් 28/3, ෆාහිමා කාතුන් 38/2)

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

බංග්ලාදේශ කාන්තාවෝ ලකුණකින් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.