අංගසම්පූර්ණ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පොලොන්නරුව හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. මේ සඳහා රුපියල් මිලියන 60 ක ඇස්තමේන්තුවක් සකසා ඇතැයිද ඒ මහතා පසුගියදා පොළොන්නරුවේදී පැවසීය.
පොලොන්නරුවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිඩාංගණයක් ඉදිකර දීමට 1998 වසරේදී පොරොන්දු වූ එවකටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිව සිටි තිලංග සුමතිපාල මහතා වසර 19 කට පසුව එම පොරොන්දුව ඉටුකිරීමට සැරසෙයි.
එම ක්‍රීඩාංගණයට වෙන් කළ හිඟුරක්ගොඩ රජයේ ගොවිපොළට අයත් අක්කර 45ක භූමිය පසුගියදා නිරීක්‍ෂණය කළ සුමතිපාල මහතා පොලොන්නරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලධාරින් සමග ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. එහිදී තිලංග සුමතිපාල මහතා මෙසේ පැවසීය.
“මම 1998 දී ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන කාලේ පොලොන්නරුවේ ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස කටයුතු කළේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. පොලොන්නරුවට හොඳ තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලබා දෙන්න කියලා එතුමා ඇතුළු පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළා”
“ඒ අනුව අපි එකඟ වෙලා ක්‍රීඩාංගණය සඳහා ඉඩමක් ඉල්ලුවා. ඒ කාලේ වර්තමාන ජනාධිපතිතුමා මහවැලි අමාත්‍යවරයා ලෙසයි කටයුතු කළේ. අපිට එතුමා මුල් වෙලා හිඟුරක්ගොඩ රජයේ ගොවිපලෙන් අක්කර 15 ක් වෙන් කරලා දුන්නා.....කොහොමහරි මම ක්‍රිකට් ආයතනයේ සභාපති කමින් අයින් වුණාට පස්සේ මේ වැඬේ වුණේ නෑ. මේ ක්‍රීඩාංගණය සඳහා දැන් අක්කර 45 ක් ලැබී තිබෙනවා. දැන් අපට මුදලුත් තියෙනවා”
“ඒකක් මේක ජනාධිපතිතුමාගේ ප්‍රදේශයේ එතුමා විසින් ඉල්ලුම් කරපු එකක් නිසා පොලොන්නරුවේ ක්‍රීඩකයන්ගේ සිහිනයක්ව තිබුණු මේ ක්‍රීඩාංගණය ඉදිකර දෙන්නට කටයුතු සූදානම් කළා. ඒ අනුව මේ දිනවල අපි ලංකාවේ තිබෙන සෑම දිස්ත්‍රික්කයක් පුරාම ගමන් කරමින් ඒ ඒ සංගම් නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරය දක්වා රැගෙන යෑමට අවශ්‍ය පහසුකම් අඩුපාඩු පිළිබඳ සොයා බලනවා”
“අපි යාපනය ඇතුළුව දිස්ත්‍රික්ක 5 කට ගියා. පොලොන්නරුවේ මේ ක්‍රීඩාංගණය මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා මූලික පියවර සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමක් තමයි අපි අද කළේ. කොහොම නමුත් සිංහල අවුරුද්දට කලින් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ කාර්යාලය ඉදිකිරීම නිමා කරන අතර, ක්‍රීඩාංගණයේ සියලු කටයුතු ජාත්‍යන්තර මට්ටමේ තත්ත්වයට ගෙන එනවා. ඒත් මුලිකව කරන්නේ මෙම ක්‍රීඩාංගණය ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක් ලෙසයි”
“අපි බලාපොරොත්තු වෙනවා 2018 වෙනකොට ක්‍රීඩා පිටියේ වැඩ ජාතික මට්ටමේ තලයට නිමා කොට මෙම ක්‍රීඩාංගණයේ ජාතික මට්ටමේ තරගයක් පවත්වන්න. ඒ වාගේම තමා ජාතික මට්ටමෙන් නොනවත්වා ක්‍රම ක්‍රමයෙන් ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න”
“ඒවාගේම ක්‍රීඩාපිටිය හොඳට තිබුණාට මදි. පොලොන්නරුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කිරීමට නිලධාරින් වගේම පුහුණුකරුවනුත් මග පෙන්නත් වගකීමක් බාර ගෙන කටයුතු කරන්න කියා මම කියනවා” යැයි සුමතිපාල මහතා පැවැසීය.
මෙහිදී තිලංග සුමතිපාල මහතා විසින් පොලොන්නරුවේ ක්‍රීඩා සමාජ වෙත ක්‍රිකට් උපකරණ කට්ටලද ප්‍රදානය කරන ලදි.
(ඡායාරූපය - හිඟුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.