Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසිය 27-22 කින් සී.එච්. පරදවයි
රග්බි ලීගය

පොලිසිය 27-22 කින් සී.එච්. පරදවයි

editorial - 2023 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය යටතේ ඊයේ (28 වැනිදා) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-22 ක ජයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 10-09 ක් ලෙස ලකුණකින් පොලිස් ක්‍රීඩකයෝ පෙරමුණේ පසුවූහ. දෙවැනි අර්ධය තුළ පොලිස් කණ්ඩායම ලකුණු 17 ක් ලබාගනිද්දී, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. ඒ අනුව තරගයේ ජය පොලිසිය සතු විය.  

පළමු අර්ධයේදී පොලිස් කණ්ඩායම ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් පොලිස් කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් සමගිනි. පළමු අර්ධයේදී දඬුවම් පහර 3 කට සීමා වූ සී.එච්. කණ්ඩායමේ ලකුණු ලබාගැනීමට දෙවැනි අර්ධයේදී තවත් දඬුවම් පහර 2 ක් සහ ගෝල දිනුමක් මගින් ලකුණු එක් විය.

නිසල් සමාධි 14 වැනි සහ 41 වැනි විනාඩිවලදීද, ආකාෂ් මධුෂංක 76 වැනි විනාඩියේදීද, හෆස් තබීත් 80 වැනි විනාඩියේදීද පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 4 න් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ යොහාන් පීරිස් විසිනි.

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට ප්‍රසාත් මධුෂංක සමත් වූ අතර එහි ප්‍රවර්ථනය මෙන්ම සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 5 ක් සාර්ථක කරගැනීමට නෙත්මිණ හිරුෂ සමත් විය.

මෙම තරගයේදී පොලිස් කණ්ඩායමේ ප්‍රසාත් මධුෂංක සහ වෙනුර කෝදාගොඩ (73 වැනි සහ 80 වැනි විනාඩිවලදී) ද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ රුක්ෂාන් මධුෂංක (59 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.


අදහස් (0)

පොලිසිය 27-22 කින් සී.එච්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.