Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොදුරජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇරඹෙයි

පොදුරජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇරඹෙයි

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ අතිශය සුන්දර වෙරළ තීරයකින් සමන්විත ගෝල්ඞ් කෝස්ට්හිදී අද ආරම්භ වූ 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රමණීය සමාරම්භක උත්සවයක් ප්‍රදර්ශනය කළ ඕස්ටේ්‍රලියානුවෝ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමෙන් තමන්ගේ කීර්තිනාමයට සිදුවූ හානිය සඟවා ගත්හ. 


ක්‍රීඩාවෙන් පෙරමුණ ගන්නා රටක් වශයෙන් ලෝකයේ කොයි කාගේත් මුවග රැව්දෙන නාමයක් වන ඕස්ටේ්‍රලියාව ක්‍රීඩා පිටියේදී දැඩි ප්‍රතිවාදීන් ලෙසද ප්‍රසිද්ධියක් උසුළයි. නිතරම සාධාරණව ක්‍රීඩා කිරීමටත් ප්‍රසිද්ධියක් උසුළන නමුත් දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාව අතර කේප්ටවුන්හිදී පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමෙන් තමන්ගේ කීර්තිනාමයට බරපතළ කළු පැල්ලමක් එකතුකර ගත්තේය. 


පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ‘ක්‍රිකට්’ ක්‍රීඩාව ඇතුළත් නොවන නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වන එංගලන්තයේ යටත්විජිත වශයෙන් තිබූ රටවල් වන බැවින් කේප්ටවුන් කළු පැල්ලම සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රමාණවත් වැටහීමක් තිබේ.


මෙම තත්ත්වය හොඳින් දන්නා ඕස්ටේ්‍රලියානුවන්ගේ උත්සාහය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් පුවරුවේ පෙරමුණ ගැනීමයි. ඒ වෙනුවෙන් ඕස්ටේ්‍රලියාවේ පිහිනුම් සහ පාපැදි ක්‍රීඩකයෝ සැදී පැහැදී සිටිති. ඕස්ටේ්‍රලියානු පිහිනුම් සහ පාපැදි ක්‍රීඩකයන්ට ලොව කොතැනත් ඉදිරිපෙළ ස්ථාන හිමිවීම සාමාන්‍යය තත්ත්වයකි. 


තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති කරේරා ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන් 35,000 ක ගෙන් පිරී ඉතිරී තිබිණ. එංගලන්තයේ කිරීටය හිමි චාල්ස් කුමරු ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරාධිතයා වශයෙන් සහභාගි විය. සමාරම්භක උත්සවයට රටවල් 70 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6600 ක් පමණ සහභාගි වූහ. 139 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් බර ඉසිළීමේ ක්‍රීඩක චින්තන විදානගේ සිංහ කොඩිය රැගෙන සමාරම්භක උත්සවයට එක්විය. 


අද පැවැත්වෙන්නේ සමාරම්භක උත්සවය පමණි. ක්‍රීඩා 23 කින් සමන්විත ක්‍රීඩා උළෙලේ තරග හෙට ආරම්භ වීමට නියමිතය. එහිදී බර ඉසිලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි බලාපොරොත්තු තබා තිබේ. 


රිද්මයානුකූල ජිම්නාස්ටික්, බැඞ්මින්ටන්, පැසිපන්දු, බොක්සිං, පාපැදි, හොකී, පන්දු යැවීම, දැල්පන්දු, ස්කොෂ්, පිහිනුම්, මේස පන්දු, තුන්ප්‍රයාම සහ බර ඉසිලීම හෙට දිනයේදී පැවැත්වීමට නියමිත තරග වෙයි. 

 

අදහස් (0)

පොදුරජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.