.jpg)
විම්බල්ඩන් ටෙනිස් ශූරතා පහක් දිනා සිටින සෙරීනා විලියම්ස්ට තව සති තුනකින් එංගලන්තයේ ලන්ඩන් නුවර දී ආරම්භ වන මෙවර තරගාවලියේ දී සිය හයවැනි ශූරතාව කරා යාමට හැකි ආකාරයෙන් වටපිටාව සකස්වී තිබේ.
ඇය දැනටමත් එංගලන්තයේ ටෙනිස් ක‍්‍රීඩාවේ ඔට්ටු තබන්නන් වඩාත්ම ප‍්‍රිය කරන ක‍්‍රීඩිකාව බවට පත්වී හමාරය. ඇයට මෙවරත් විම්බල්ඩන් ටෙනිස් කිරුළ ජයගනිමින් ඔට්ටු තබන්නන්ගේ සිත් සතුටු කරන්නට හැකිනම් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළු හතරම දිනාගත් දෙවැනි අවස්ථාව බවටද එය පත්වෙයි. එමෙන්ම වසරක් තුළ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරම ජයගත් ලොව සිවුවැනි ක‍්‍රීඩිකාව බවට පත්වීමට ද ඇයට හැකිවනු ඇත.
මීට වසර 17කට පෙර සිය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරග දිවිය ඇරැුඹීමෙන් පසුව මේ 33 හැවිරිදි අමෙරිකානු යුවතිය කාන්තා ටෙනිස් පිටිය දිග් විජය කළ අයුරු මැන බැලීමට එය හොඳටෝම ප‍්‍රමාණවත්ය.
මේ වනවිට සෙරීනා ග‍්‍රෑන්ඞ් ස්ලැම් ශූරතා 20 කට හිමිකම් කියන්නීය. ස්ටෙෆී ග‍්‍රාෆ්ගේ ශූරතා 22 සම කිරීමට ඇයට අඩු තව දෙකක් පමණි. ඇය ඉතා වේගයෙන් ඒ කරා ගමන් කරමින් සිටීම ඇගේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාවන් කණගාටුවට පත්වන කරුණකි.
සෙරීනා ජයගත් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලින් 7 ක්ම ප‍්‍රංශ ජාතික පුහුණුකරු (ඔහු දැන් ඇගේ පෙම්වතාය) වන පැටි‍්‍රක් මොරටොග්ලෝ සමග 2012 වසරේ ජූනි මාසයේ දී එක්වීමෙන් පසු ලැබුණු ඒවාය.
ඒ වසරේ ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ දී ඇය වර්ජිනී රසානෝ හමුවේ පරාජය වී පළමු වටයෙන්ම ඉවතට විසිවූවාය. කාලයක් යනතුරු එය ටෙනිස් පිටියේ උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබිණි. එදා සිට අද දක්වා ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ඉසව්වක දී සෙරීනා මුල් වටයෙන්ම පරාජය වී ගෙදර ගිය එකම අවස්ථාව ද එය විය.
ඒ වෙද්දී සෙරීනා ආබාධ රැසකටම ලක්වී සිටි අතර ජයග‍්‍රහණ සඳහා තිබුණු පෙළඹවීම ද හීනවී තිබිණි. එසේ තිබියදී ඇය පුහුණු කරන්නට බාරගත් මොරටොග්ලෝ සෑහෙන දෙයක් කර ඇති බව පෙනෙන්නට තිබේ. එය කෙතරම්ද කියන්නේ නම් මේ ප‍්‍රංශ ජාතිකයා ඇගේ පේ‍්‍රමය දිනාගැනීමට පවා සමත්ව සිටී.
”එ් කාලේ ඇගේ ටෙනිස් ජීවිතය එහෙම පිටින්ම නැඟීම් හා වැටීම්වලින් පිරිලයි තිබුණේ” පසුගිය සෙනසුරාදා ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලූසියා සෆරෝවා පරදවා සෙරීනා සිය 20 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව දිනාගත් මොහොතේ මොරටොග්ලෝ එසේ කීවේය.
”ඇය නිතර නිතර විවිධ ආබාධවලට ලක්වුණා. ඒ වගේම ආත්ම ශක්තියත් හොඳටෝම පිරිහිලයි තිබුණේ”
ඔහු දැන් කියන විදිහට ඇය අමෙරිකානු හා විම්බල්ඩන් ශූරතා එක පෙළට පස් වතාවක්ම දිනාගැනීමට තරම් දියුණු වී සිටින්නීය.
ඇගේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාවන්ගේ දුර්වලතාද මෙලෙස පහසුවෙන් වාර්තාවලට යාමේ අවස්ථා ඇයට විවර කරදී තිබේ. එය සිදුවන්නට පටන් ගත්තේ බෙල්ජියමේ ටෙනිස් යුගලය වන ජස්ටින් හෙනින් සහ කිම් ක්ලියෙස්ටර්ස් වේලසනින්ම ක‍්‍රීඩාවෙන් සමුගැනීමේ සිටය. මේ දෙදෙනාම සෙරීනාට කරට කර සටනක් දෙන තරමට දස්කම් අතින් සන්නද්ධව සිටියහ.
එසේ වුවත් සෙරීනාගේ දිගුකාලීන පසමිතුරිය වන මරියා ෂරපෝවා මෙන්ම ඇනා ඉවනෝවික් සහ කැරොලින් වොස්නියැකිද මෑතකාලයේදී සෙරීනා පරාජය කිරීමේ හැකියාව අතින් දුර්වල වූහ. පෙට්රා ක්විටෝවා සහ වික්ටෝරියා ඇසරෙන්කා වැනි වයස විසිගණන්වල සිටින ක‍්‍රීඩිකාවන් දෙදෙනාද සෙරීනා ඇතුළු ඉහළින් සිටින ක‍්‍රීඩිකාවන් විසින් යොමුකරන පීඩනයට ඔරොත්තු දීගත නොහැකිව සිටිති.
එව්ගිනී බොචාඞ් සහ ස්ලෝනී ස්ටීවන්ස් යොවුන් ක‍්‍රීඩිකාවන් ද මේ වසරේ දී පසුබා ගියහ. එනිසාම මෙවර ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව තරගයට අවුරුදු 25 ට අඩු ක‍්‍රීඩිකාවක් සුදුසුකම් ලැබුවේ නැත. මේ තත්ත්වය නිසා සෙරීනාට කාන්තා ටෙනිස් පිටිය තුළ සිය ආධිපත්‍ය දිගටම පතුරුවා හැරීමේ ඉඩකඩ පෑදී තිබේ. සිය සෞඛ්‍ය තත්ත්වය හා අවධානය හොඳින් තිබෙනතුරු අඩුම තරමින් තවත් වසර දෙකක්වත් ගතවනතුරු එය වෙනස් නොවනු ඇත.
සෙරීනා ක‍්‍රීඩාවෙන් සමුගැනීමත් සමග කාන්තා ටෙනිස් පිටියේ ශ්‍රේෂ්ඨතම ක‍්‍රීඩිකාව කවුරුන්දැයි යන්න සොයාගැනීම විවාදයට තුඩුදෙන්නක් විය හැකිය. මොරින් කොනොලි, මාග‍්‍රට් කෝට්, මාටිනා නව්රතිලෝවා, ස්ටෙෆි ග‍්‍රාෆ් සහ සෙරීනා විලියම්ස් අතරින් ඒ තෝරාගැනීම සිදුවනු ඇත.
සෙරීනා හැම අතින්ම වැඩකාරියක් බව එදා රෝලන්ඞ් ගැරෝස් පිටියේ දී සෙරීනාට ශූරතාව ප‍්‍රදානය කළ නව්රතිලෝවා විශ්වාස කරන්නීය.
”පසුගිය අවුරුදු තුනේම ඇය ක‍්‍රීඩාව අතික‍්‍රමණය කළා” 18 වතාවක් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනා ඇති නව්රතිලෝවා කීවාය.
”මගේ හිත ගත්තු කාරණය ඇය මේ වයසේ දී එවැන්නක් කිරීමයි. ඇය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා විසිගණනට ආපු හැටි...ඒක රඳා පැවැතුණේ ඇගේ සිරුර හා ක‍්‍රීඩාව ගැන තිබුණු දැඩි අවධානය මතයි. ඇය ග‍්‍රාෆ්ගේ ශූරතා 22 වාර්තාව හෝ මාග‍්‍රට් කෝට්ගේ 24 වාර්තාව පසුකළත්, තවත් දුර යාමේ හැකියාවක් ඇයට තියෙනවා”
”ඇත්තම කියනවානම් අවුරුදු තිස් ගණන්වලට ආවට පස්සේ ක‍්‍රීඩා කරන්න අමාරුයි. ඒත් ඒ එක්කම නව පරපුරෙන් සැළකිය යුතු තරමේ අභියෝගයක් එල්ල වෙන්නේ නැති නිසා සෙරීනාට තව දුරටත් මාර්ගය විවරවෙලා තියෙන බවයි පෙනෙන්නේ” යයිද නව්රතිලෝවා පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.