Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිටියෙදි තරහ වුණාට එළියෙදි අපි හැමෝම යාළුවො
ආසියානු කුසලාන

පිටියෙදි තරහ වුණාට එළියෙදි අපි හැමෝම යාළුවො

editorial - 2022 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

ක්‍රීඩාංගණයේදී තම රට වෙනුවෙන් එකිනෙකාට එරෙහිව තරග වැදුණද ක්‍රීඩාංගණයෙන් පිටතදී ඉන්දීය, පකිස්තාන සහ බංග්ල‍ාදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හොඳ මිතුරන් බවත්, තරගයට පෙර නායක දසුන් ශානක කළ ප්‍රකාශය ඇතමුන් වරදවා වටහාගැනීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය වූ බවත් භානුක රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු ඒ බව කියා සිටියේය.

“නායකයාගේ (දසුන්ගේ) ප්‍රකාශය ගැන කියනවා නම් කියන්න ඕන ඔහු වැරදි දෙයක් කිව්වෙ නෑ. ඔහු කිව්වෙ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් සමග සන්සන්දනය කරද්දි බංග්ලාදේශ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න තරමක් පහසුයි කියලයි. ඒක මේ තරගයේදී ඔප්පු වුණා. එත් කණගාටුවට වගේ ඒ ප්‍රකාශය නිසා කණ්ඩායම් දෙක අතර වැරදි වටහාගැනීමක් ඇති වුණා.” යැයි එහිදී භානුක පැවසීය.

“ඇත්තමට ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය සමග ක්‍රීඩා කරන විට ක්‍රීඩාංගණයේදී අපිව සතුරන් වගේ පේනවා ඇති. ඒත් ක්‍රීඩාංගණයෙන් පිටතදී අපි හුඟක් හොඳ මිතුරන්. ඇතැම් වචන නිසා බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ හිත් රීදීමක් සිදුවෙලා තියෙනවා කියලා අපිට පේනවා. බංග්ලාදේශය කියන්නෙ අපිට හුඟක් හිතවත් කණ්ඩායමක්, ඒ නිසා ඉදිරියෙදි නැවත ඔවුන් මුණගැහෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයිද භානුක කීවේය.

ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නායක දසුන් ශානක ලකුණු 45 ක් ලබා සිටියදී 18 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේදී දැවී ගියේය. පිතිකරුවකු ලෙස නම් දරා සිටින අවසන් ක්‍රීඩකයා වූ චාමික කරුණාරත්නද ලකුණු 16 ක් ලබා සිටියදී 19 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේදී දුවද්දී දැවී යෑමකට හසු විය. ජයග්‍රහණය සඳහා පන්දු 7 කදී ලකුණු 13 ක් අවශ්‍යව තිබූ මොහොතක පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු, තමා මුහුණදුන් පන්දු 3 න් 2 ක්ම හතරේ සීමාව කරා යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

“කොයි වෙලාවෙවත් අපි හිතුවෙ නෑ 180 ක් කියන්නෙ හඹා යන්න බැරි ලකුණු සංඛ්‍යාවක් කියලා. කුසල් මෙන්ඩිස් ආරම්භක කඩුල්ලට ලබාදුන් සම්බන්ධතාව අපිට හුඟක් වැදගත් වුණා. මැද පෙ‍ළ කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳවැටුණත් අපි ලකුණු ලබා‍ගැනීමේ වේගය දිගටම තියාගෙන ගියා. අපි බලාපොරොත්තු වුණා අන්තිම ඕවර ටික දානකොට එයාලා (බංග්ලාදේශය) ටිකක් හිරවෙයි කියලා. අන්තිමට අපි හිතුවෙවත් නැති විදියට අසිත ප්‍රනාන්දු ඇවිත් තරගය දිනෙව්වා.” යැයි භානුක පැවසීය.

ලකුණු 184 ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමේදී පැතුම් නිස්සංක සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස්, ඉන් නොනැනවදී නායක දසුන් ශානක සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. එම සම්බන්ධතා ද්විත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා බෙහෙවින්ම බලපෑවේය.

“පළමු ඕවර 6 දී මම මගේ සාමාන්‍ය විදියට ක්‍රීඩා කළා. ඊළඟ ඕවර හතරෙදි තමයි මම මගේ පහරවල් වලට ගියෙ. දැවී යන්න තිබුණ අවස්ථා දෙකකින් මම බේරුණා. මම හිතනවා අද මගේ දවස වෙන්න ඇති. පහුගිය කාලෙ මම හුඟක් මහන්සිවෙලා පුහුණුවීම් කළා. ලකුණු 60 ක් ලබාගෙන කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමය ලබාදෙන්න පුළුවන් වුණ එක ගැන මම හුඟක් සතුටු වෙනවා. යැයි තරගයේ වීරයා සම්මානය ලබාගනිමින් කුසල් සඳහන් කළේය.

විස්සයි-20 තරගවලදී අර්ධ ශතක 7 ක් ලබාගැනීමට කුසල් සමත්ව ඇති අතර ඉන් 4 ක්ම ඔහු ලබාගෙන ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. සිය මුල් ඕවර 2 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගෙන සිටි ඉබාදත් හොසේන් තඹේකට මායිම් නොකළ දසුන්, ඔහුගේ තෙවැනි ඕවරයේ පළමු සහ දෙවැනි පන්දු දෙකට පිට පිටම හයේ පහර දෙකක් එල්ල කළේය. කුසල් සමග එක්ව එම ඕවරයේදී ලකුණු 22 ක් රැස්කරමින් එය තරගයේ හැරවුම් ලක්ෂය බවට පත් කිරීමටද ශ්‍රී ලංකා නායකයා සමත් විය.

“මමයි කුසලුයි පන්දුවට පහර දෙද්දි මම හිතුවා අපිට දිනන්න පුළුවන් වේවි කියලා. පිතිහරඹ ලැයිස්‍තුවෙ ඉහළින් එන්න මට හිතුනත්, කණ්ඩායමේ අවශ්‍යතාව මත මම ඒ අදහස හිතින් අයින් කරගත්තා. කණ්ඩායම ‍මගෙන් බලාපො‍රොත්තු වෙන්නෙ තරග අවසන් කිරීම. ඒ නිසා කණ්ඩායම් අවශ්‍යතාවට තමයි මම ප්‍රමුඛත්වය දෙන්නෙ. චාමික දැවී යද්දි අපි පරදීවිද කියලත් මට හිතුනා. ඒත් අසිත හතරේ පහර 2 කින් අපිව ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියා.” යැයි තරගයෙන් අනතුරුව දසුන් කියා සිටියේය.


අදහස් (1)

පිටියෙදි තරහ වුණාට එළියෙදි අපි හැමෝම යාළුවො
  • Asela Friday, 02 September 2022 06:04 PM

    අපි දන්නවා සහෝදරයා..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.