Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආම්භක පිතිකරුවකු වන පැතුම් නිස්සංකගේ සේවය ලබාගැනීම සඳහා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඉදිරිපත් වී තිබේ. ඉකුත් සතියේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් පැතුම්ගේ සේවය ලබාගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙවර තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පැවතිණ.
කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීම මත සෑම කණ්ඩායමකටම තවත් එක් දේශීය ක්‍රීඩකයකු ඇතුළත් කරගැනීම සඳහා අවසර ලබාදීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ. ඒ අනුව පැතුම් සිය කණ්ඩායමට එක්කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ හිමිකරු ඇතුළු කලමණාකාරීත්වය කටයුතු කර ඇත.
මේ වන විට ලෝක විස්සයි-20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවන පැතුම්, ඉකුත් වසරේ (2021) එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම ඉකුත් ජූනි මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පණ පෙවීය.
මේ වන විට ඔහු විස්සයි-20 ජාත්‍යන්තර තරග 23 කදී අර්ධ ශතක 5 ක් සමග ලකුණු 628 ක් රැස්කරගෙන ඇත්තේ 28.54 සාමාන්‍යයකට හිමිකම් කියමිනි. කෙසේ වුවත් ඉකුත් වසරේ (2021) පැවැති එල්.පී.එල්. තරගාවලියේදී කලම්බෝ ලයන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ පැතුම්ට තරග 5 කදී ලබාගත හැකි වූයේ ලකුණු 56 ක් පමණි.
“පැතුම් අප සමග එක්වීමෙන් අපගේ පිතිහරඹ ලැයිස්තුව ශක්තිමත් වනවා පමණක් නොව, මෑත කාලයේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඔහු ලබාගත් අත්දැකීම් අපේ කණ්ඩායමට අගනා සම්පතක්ද වනු ඇත. එල්.පී.එල්. තරඟාවලියේදී ඔහු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා දැකීමට ක්‍රීඩාලෝලීන් ඉතා උනන්දුවෙන් බලා සිටිනු ඇතැයි මට විශ්වාසයි.” යැයි මහනුවර කණ්ඩායමේ හිමිකරුවා වන පර්වේස් ඛාන් මහතා පැවසීය.
(ඡායාරූපය - කැන්ඩි ෆැල්කන්ස් නිල ෆේස්බුක් පිටුවෙන්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.