Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය ඉහළම ඉලක්කය ජයගනී
විස්සයි-20 තරගාවලිය

පාකිස්තානය ඉහළම ඉලක්කය ජයගනී

editorial - 2021 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු විස්සයි-20 කි‍්‍රකට් ඉතිහාසයේ ඉහළම ඉලක්කය වූ ලකුණු 208 සාර්ථකව හඹාගිය මොහොමඩ් රිස්වාන් (87) සහ බාබර් අසාම් (79) දෙදෙනා, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තුන්වැනි තරගයේදීත් කඩුලු 7 ක පහසු ජයක් සිය කණ්ඩායමට අත්කර දුන්හ.

බ‍්‍රහස්පතින්දා (16 වැනිදා) රාති‍්‍රයේ කරච්චි නුවරදී පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් පාකිස්තානුවෝ තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත්හ.

පාකිස්තානුවන්ගේ මීට පෙර පැවැති ඉහළම සාර්ථක ලකුණු හඹායාම වූයේ දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව සෙන්චූරියන්හිදී ලකුණු 204 ක් ලබාගැනීමයි.

මොහොමඞ් රිස්වාන් පන්දු 45 කින් ලකුණු 87 ක් ලබාගනිද්දී නායක බාබර් අසාම්ගේ ලකුණු 79 ට වැයවූයේ පන්දු 53 ක් පමණි. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 158 ක් එක්කළ මෙම පිතිකරුවන් දෙදෙනාගෙන් කොදෙව් පන්දු යවන්නන්ට වැදුණු හතරේ සහ හයේ පහර සංඛ්‍යාව 24 කි. ඒවායින් 5 ක් හයේ පහර විය.

බාබර් අසාම් සහ මොහොමඞ් රිස්වාන් එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් මේ වසරේදී ගොඩනැංවූ හයවැනි ශතක සම්බන්ධතාවද එයයි. ලකුණු 184 ක් වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය නමුත්, අසිෆ් අලී, පන්දු 7 කින් ලකුණු 21 ක් ලබාගැනීම නිසා පන්දු 7 ක් ඉතිරිව තිබියදීම ලකුණු 208 ක ඉලක්කය කරා අවතීර්ණ වීමට පාකිස්තානු පිතිකරුවෝ සමත් වූහ.

කොදෙව් පිලේ කී‍්‍රඩකයන් තිදෙනකු ඇතුළු සාමාජිකයන් පස් දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මෙම තරගය අතහැර දැමීමට ඉතාම ආසන්නයේ පැවතිණ. එහෙත් අවසන් මොහොතේදී එක`ගතාවකට පැමිණි පාකිස්තානු සහ බටහිර ඉන්දීය කි‍්‍රකට් බලධාරීහු තරගය පැවැත්වීමට තීරණය කළහ. මෙම පස්දෙනාත් සමග සංචාරක කොදෙව් කණ්ඩායමේ 9 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෂෙමාරා බෲක්ස් (49) සහ බ්‍රෙන්ඩන් කිං (43) දෙදෙනාගෙන් කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ලැබිණ. පන්දු 37 කින් ලකුණු 64 ක් ලබාගත් කොදෙව් විස්සයි-20 නායක නිකලස් පූරන් සිය හොඳම විස්සයි-20 ඉනිම කී‍්‍රඩා කළේ හයේ පහර 6 කින් සිය ඉනිම සරසාලමිනි. මෙම ඉනිම නිසාම කොදෙව් පිලට ලකුණු 200 සීමාව ඉක්මවා යා හැකිවූයේ ජයග‍්‍රහණයක් කෙරේ බලාපොරොත්තු රඳවාගනීමිනි.

එහෙත් පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු තණතීරුවකදී පාකිස්තානුවෝ වාසිය ලබාගත්තේ කඩුලූ 7 කින් තරගය ජයගනිමිනි. තරගාවලියේ පළමු තරගය ලකුණු 63 කින් ජයගත් පාකිස්තානුවෝ දෙවැනි තරගයත් ලකුණු 9 කින් දිනාගත්හ.

පාකිස්තානු කණ්ඩායමක් 3-0 ක විස්සයි-20 තරගාවලි ජයක් වාර්තා කළ හත්වැනි අවස්ථාව මෙය වන අතරම කොදෙව් පිලට එරෙහිව එවන් දස්කමක් කළ තුන්වැනි අවස්ථාවද වෙයි.

මේ වසරේ විස්සයි-20 තරග 29 කදී ලකුණු 1326 ක් ලබා සිටින මොහොමඞ් රිස්වාන්, විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී මේ වසරේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටී. මේ වසරේදී විස්සයි-20 තරගාවලි 8 කට සහභාගි වූ පාකිස්තානුවෝ ඒවායින් තරගාවලි 6 ක් ජයගෙන සිටිති.


බටහිර ඉන්දීය කොදෙව් -  ඕවර 20 කදී කඩුලූ 3 ට 207 යි
(බ්‍රෙන්ඩන් කිං 43, ෂෙමාරා බෲක්ස් 49, නිකලස් පූරන් 64, ඩැරන් බ‍්‍රාවෝ නොදැවී 34, මොහොමඞ් වසිම් 44/2)

පාකිස්තානය -  ඕවර 18.5 කදී කඩුලූ 3 ක් දැවී 208 යි
(මොහොමඞ් රිස්වාන් 87, බාබර් අසාම් 79, ෆකාර් සමාන් 12, අසිෆ් අලී නොදැවී 21)

- 213

 


අදහස් (0)

පාකිස්තානය ඉහළම ඉලක්කය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.