Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය 2-0 කින් නෙදර්ලන්තය පරදවයි

පාකිස්තානය 2-0 කින් නෙදර්ලන්තය පරදවයි

editorial - 2022 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර රොටර්ඩෑම්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තානයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ ඕවර 33.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දක්ෂ පිතිහරඹයක නිරත වූ මොහොමඩ් රිස්වාන් පන්දු 82 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

මුල් කඩුලු 2 ලකුණු 11 ක් තුළ බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක බාබර් අසාම් (57) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රිස්වාන්, ආගා සල්මාන් (නොදැවී 50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 92 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

පන්දු 65 කදී වාර්තා වූ බාබර්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 35 කට මුහුණදුන් සල්මාන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. පාකිස්තාන ඉනිමේ සිවුවැනි ඕවරයේදී ෆකාර් සමාන් ලකුණු 3 කටද, ඉමාම් උල්හක් ලකුණු 6 කටද පිටියෙන් ඉවත් කිරීමට විවියන් කින්මා සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 44.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි. හාරිස් රවුෆ් ලකුණු 16 කට කඩුලු 3 ක්ද, මොහොමඩ් නවාස් ලකුණු 42 කට ලකුණු 3 ක්ද දවාගැනීමට සමත් වූ අතර නෙදර්ලන්ත ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් නසීම් ෂා ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත්තේය. 

නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බේස් ඩි’ ලීඩ් පන්දු 120 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 89 ක් රැස්කළ අතර ටොම් කූපර් පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 66 කි. නෙදර්ලන්ත ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් වූහ. 

නෙදර්ලන්තය - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 186
(බේස් ඩි’ ලීඩ් 89, ටොම් කූපර් 66, හාරිස් රවුෆ් 16/3, මොහොමඩ් නවාස් 42/3, නසීම් ෂා 27/2) 

පාකිස්තානය - ඕවර 33.4 කදී කඩුලු 3 ක් දැවී 191
(බාබර් අසාම් 57, මොහොමඩ් රිස්වාන් නොදැවී 69, අගා සල්මාන් නොදැවී 50, විවියන් කින්මා 32/2)

-036


අදහස් (0)

පාකිස්තානය 2-0 කින් නෙදර්ලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.