
(දමින්ද විජේසූරිය)
ශ්රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරුවා වශයෙන් අවිශ්ක ගුණවර්ධන මහතා පත්කර තිබේ. අවිශ්ක ගුණවර්ධන මහතාගේ කොන්ත්රාත්තුව වසරක කාලයක් සඳහා යනුවෙන් සඳහන් වුවද ගුණවර්ධන මහතාව වසර 2028 යොවුන් ලෝක කුසලාන තරගාවලිය දක්වාම එම තනතුරේ රඳවා ගැනීම බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර ගණනාවක් තිස්සේ ශ්රී ලංකාවේ දේශීය ක්රිකට් ක්ෂේත්රයේ කීර්තිමත් පුහුණුකරුවකු ලෙසින් නමක් දිනා සිටින අවිශ්ක ගුණවර්ධන මහතා ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවාය. එහෙත් ශ්රී ලංකා ‘ඒ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු තනතුර අශාන් ප්රියන්ජන් මහතාට බාර කරමින් අවිශ්ක ගුණවර්ධන මහතා ශ්රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරුවා ලෙසින් පත්කර තිබේ. හෙතෙම කලක් ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් ද කටයුතු කළේය.
මුල්ම යොවුන් ලෝක කුසලාන තරගාවලිය පැවැති වසර 1988 (ඕස්ටේ්රලියාවේදී) සිටම යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්රී ලංකාව වසර 2000 දී (ශ්රී ලංකාවේදී) එහි අවසන් තරගයට ක්රීඩා කළේය. එහෙත් එදා මෙදා තුර ශ්රී ලංකා යොවුන් කණ්ඩායමක් යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගෙන නැත.
වසර 2028 යොවුන් ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේදී හෝ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට සූදානමක් ඇතත් තවමත් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ගෙන නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.