Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දුව පළුදු කළ තුන්කට්ටුව එක්වෙයි

පන්දුව පළුදු කළ තුන්කට්ටුව එක්වෙයි

editorial - 2019 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් මෙවර අළු බඳුන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු සංචිතයට එක්ව සිටී. මෙම අළුබඳුන සංචිතය සඳහා බැන්ක්‍රොෆ්ට්ට අමතරව, පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වී වසරක ක්‍රිකට් තහනමකට ලක්වූ ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් දෙදෙනාත් එක්ව සිටිති.

තරග 5 කින් සමන්විත අළු බඳුන තරගාවලිය සඳහා 17 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සංචිතය අද (27 වැනිදා) නම් කරන ලදි. තරගාවලිය අගෝස්තු මස 1 වැනිදා බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

දකුණු අප්‍රිකානු සංචාරයේදී ඕස්ට්‍රේලියානු පිලේ නායකයාව සිටි ස්ටීවන් ස්මිත් සහ ඔහුගේ උපනායකයාව සිටි ඬේවිඞ් වෝනර් දෙදෙනාටම පන්දුව පළුදු කිරීමේ චෝදනා හේතුවෙන් වසරක තහනමක් පනවන ලදි.

පන්දුව පළුදු කළ තැනැත්තා වූ කැමරන් බැන්ක්‍රොෆ්ට පැනවූ තහනම මාස 9 කි. වෝනර් සහ ස්මිත් දෙදෙනාම ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සාර්ථක දස්කම් දැක්වූ හෙයින් මෙවර අළු බඳුන තරගාවලියට ඔවුන් දෙදෙනාම ඇතුළත් වේ යයි කල්තබාම බලාපොරොත්තු තබා තිබිණ.

මේ තිදෙනා අතුරින් කැමරන් බැන්ක්‍රොෆ්ට් එංගලන්තයේ අන්තර් ප්‍රාන්ත තරගාවලියේදී ඩරම් ප්‍රාන්ත කණ්ඩායමේ නායකත්වය දරයි. සංචාරක ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැති පෙරහුරු තරගයකදී නොදැවී ලකුණු 93 ක් ලබාගැනීමටද බැන්ක්‍රොෆ්ට් සමත් වූයේය.

“ඬේවිඞ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ බැන්ක්‍රොෆ්ට් යන තුන්දෙනාම, බලෙන්ම වාගේ නැවතත් කණ්ඩායමට රිංගාගෙන තියෙන්නේ තම තමන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන්මයි. ඬේවිඞ් හා ස්මිත් දෙදෙනාම ටෙස්ට් මට්ටමේදී තමන්ගේ දස්කම් සනාථ කළ ක්‍රීඩකයන්. කැමරන් වුණත් ඩරම් ප්‍රාන්ත පිල වෙනුවෙන් සාර්ථක දස්කම් පෙන්වා තියෙනවා” යයි ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ ප්‍රධානී ට්‍රෙවර් හෝන්ස් මහතා පැවසීය.

වේග පන්දු යවන්නන් වශයෙන් පීටර් සිඞ්ල් සහ ජේම්ස් පැටින්සන් නැවතත් ටෙස්ට් පිලට කැඳවා තිබෙන අතර ජොස් හේසල්වුඞ් පිටකොන්දේ ආබාධයකින් පසුව නැවතත් කණ්ඩායම හා එක්ව සිටී. කෙසේ වෙතත් තවමත් කෝඩුකාරයකු වන වේග පන්දු යවන ක්‍රීඩක මයිකල් නේසර් විමතිය දනවන තේරීමකි.

වසර දෙකක කාලයක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා නොකළ මැතිව් වේඞ් කණ්ඩායමට කැඳවා ඇතත් ලෝක කුසලාන තරගාවලියේදී සාර්ථක දස්කම් දැක්වූ කඩුලු රකින්නා වන ඇලෙක්ස් කේරිට ස්ථානය අහිමි වී තිබේ. ඇලෙක්ස් කේරි ලෝක කුසලාන තරගාවලියේදී නායක ටිම් පේන්ගේ සහාය කඩුලු රකින්නා විය.

ඇලෙක්ස් කේරි ඉවත් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ කණස්සල්ල පළකරති. මෙම සංචිතය සඳහා ඇතුළත්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 8 දෙනෙක් මාසයකට වැඩි කාලයක් පුරා එංගලන්තයේ සංචාරයක නිරතව සිටි ඕස්ට්‍රේලියානු ‘ඒ’ සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයෝ වෙති. තවත් හය දෙනෙක් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූවෝ වෙති. ඉතිරි තිදෙනාම එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට සහභාගි වෙමින් සිටින ක්‍රීඩකයෝ වෙති.

ඒ අනුව එංගලන්තයේ තණතීරු සහ තත්ත්වයන්ට ක්‍රීඩකයෝ සියලු දෙනාම හොඳින් හුරුපුරුදු වී සිටිති.
මේ වන විට අළු බඳුන ඕස්ට්‍රේලියානුවන් සතුවන නමුත් ඔවුන් වසර 18 ක කාලයක් එංගලන්තයේදී අළු බඳුන තරගාවලියක් ජයගෙන නැත.


ඕස්ට්‍රේලියානු සංචිතය
ටිම් පේන් (නායක), කැමරන් බැන්ක්‍රොෆ්ට්, පැට්ටි්‍රක් කමින්ස්, මාකස් හැරිස්, ජොස් හේසල්වුඞ්, ට්‍රැවිස් හෙඞ්, උස්මන් කවාජා, මානස් ලැබුෂේන්, නේදන් ලයන්, මිචෙල් මාෂ්, මයිකල් නේසර්, ජේම්ස් පැටින්සන්, පීටර් සිඞ්ල්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මැතිව් වේඞ් සහ ඬේවිඞ් වෝනර්

තරග කාල සටහන
අගෝ 1-5 : පළමු ටෙස්ට් තරගය - බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී
අගෝ 14-18 : දෙවැනි ටෙස්ට් තරගය - ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී
අගෝ 22-26 : තුන්වැනි ටෙස්ට් තරගය - ලීඞ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී
සැප් 4 - 8 : සිව්වැනි ටෙස්ට් තරගය - මැන්චෙස්ටර් නුවර ඕල්ඞ්ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී
සැප් 12-16 : පස්වැනි ටෙස්ට් තරගය - ලන්ඩන් නුවර කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

..


අදහස් (0)

පන්දුව පළුදු කළ තුන්කට්ටුව එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.