Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

editorial - 2019 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

මොහොමඞ් සාමි (40/4) ප්‍රමඛ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගය ලෙස ඇෆ්ඝනිස්තානයට එරෙහිව අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 11 ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 225 ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 213 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් සාමි ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගත් අතර යුස්වේන්ද්‍ර චාහල්, ජස්ප්‍රීට් බුම්රා සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා සාමිට අනගි සහායක් දුන්හ.  

තරගය ජයගැනීම සඳහා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මොහොමඞ් සාමි අවසන් ඕවරයේදී ලකුණු 16 ක් රැස්කිරීමට සිදුවූ අතර එම ඕවරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට මොහොමඞ් නබී සමත් විය. එහෙත් දෙවැනි තෙවැනි පන්දුවේදී හර්දීක් පාණ්ඩ්‍යා අතට උඩ පන්දුවක් දෙමින් නබී දැවී යෑමත් සමග ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ අවසන් ජයග්‍රාහී බලාපොරොත්තුවත් සුන්වී ගියේය.

ඉන් නොනැවතුන මොහොමඞ් සාමි, එම ඕවරයේ සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී අෆ්ටාබ් අලාම්ගේ සහ මුජිබුර් රහමන්ගේ කඩුලුද බිඳ දමමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීමට සමත් විය. ඒ සමගම එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් සිවුවැනි ඉන්දීය ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ මොහොමඞ් නබී පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. නායක ගුලාබ්දීන් නබී හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද, රාමට් ෂා හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක්ද රැස්කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සටනක් දිය හැකි තත්වයකට රැගෙන ආහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 224 ක් රැස්කිරීමට සමත් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 7 ක් වන විට ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා (1) පිටියෙන් ඉවත් කිරීමට මුජිබුර් රහමන් සමත් විය.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි නායක විරාට් කෝලි පන්දු 63 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 67 ක් රැස්කළේය. එය ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම ලබාගත් තෙවැනි අර්ධ ශතකය විය.

ලොකේෂ් රාහුල් (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් පිහිටවූ කෝලි, ඉන් නොනැවතී විජේ ශංකර් (29) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක්ද පිහිටවමින් ඉන්දීය ඉනිම ගොඩනැගුවේය. රාහුල්ගේ සහ ශංකර්ගේ ඉනිම්වලට හතරේ පහර 2 බැගින් ඇතුළත් විය.

ඔවුන් තිදෙනාගේ දැවීයෑම් වලින් පසුව පිටියේ එක්වූ මහේන්ද්‍ර සිං දෝනි (28) සහ කේදර් ජාදව් (52) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව කරා රැගෙන ආහ. පන්දු 68 කට මුහුණදුන් ජාදව් හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය 5 වැනි එක්දින අර්ධ ශතකය අලංකාර් කළ අතර පන්දු 52 කදී වාර්තා වූ දෝනිගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම සඳහා කැඳවූ සියලුම පන්දු යවන්නන් කඩුලු දවාගැනීමට සමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් නබී සහ නායක ගුලාබ්දීන් නයිබ් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 224
(ලොකේෂ් රාහුල් 30, විරාට් කෝලි 67, විජේ ශංකර් 29, මහේන්ද්‍ර සිං දෝනි 28, කේදර් ජාදව් 52, මොහොමඞ් නබී 33/2, ගුලාබ්දීන් නයිබ් 51/2)

ඇෆ්ඝනිස්තානය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 213
(ගුලාබ්දීන් නබී 27, රාමට් ෂා 36, හස්රතුල්ලා ශහිදී 21, මොහොමඞ් නබී 52, නජිබුල්ලා සද්රාන් 21, රෂීඞ් ඛාන් 14, මොහොමඞ් සාමි 40/4, යුස්වේන්ද්‍ර චාහල් 26/2, ජස්ප්‍රීට් බුම්රා 29/2, හර්දීක් පාණ්ඩ්‍යා 51/2)

 

- 036


අදහස් (0)

පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.