Last Update  :  2026-02-11 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට පහසු ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

පාකිස්තානයට පහසු ජයක්

editorial - 2026 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලකුණු 200 කඩඉම පනින්නට පාකිස්තානුවන් සූදානම් වූවත්, අවසන් පන්දු 10 න් කඩුලු 5 ක් දවාගත් ඇමරිකානුවෝ පාකිස්තානු උත්සාහය ව්‍යර්ථ කළහ. එහෙත් එයින් පාකිස්තානුවන්ට සිදුවූ අලාභයක් නැත. ලකුණු 190 පහසුවෙන් ආරක්‍ෂා කරගත් පාකිස්තානුවෝ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඇමරිකා එක්සත් ජනපදය ලකුණු 32  කින් පරාජය කරමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත්හ. 

මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ තරග දෙකම ජයගත් කණ්ඩායම් වන්නේ පාකිස්තානය සහ නවසීලන්තයයි. ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරන නවසීලන්තය ද තමන් සහභාගි වූ තරග දෙකම ජයගත්තේය. 

මෙවර තරගාවලියේ සුවිශේෂී දසුන නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය අහිමි එහෙත් සම සාමාජිකත්වය හිමි රටවල දස්කම් ලෝකයේ ඉදිරිපෙළ රටවල් සමගින් කරට කර තිබීමයි. 

කාසියේ වාසිය දිනාගත් ඇමරිකාව පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් සයිම් අයුබ් (29) සහ සහිබඩ්ෂා ෆර්හාන් (73) අනුකම්පා විරහිත ප්‍රහාරයක් ආරම්භ කළහ. ඉනිමේ ප්‍රවේශයේදී (ඕවර 1 - 06) ලකුණු 56 ක් ලබාගත් පාකිස්තානුවෝ, එතැන් සිට අනවරත වේගයකින් ලකුණු රැස්කරන්නට වූහ. 

පන්දු 41 කින් ලකුණු 73 ක් ලබාගත් ශහිබඩ්ෂා ෆර්හාන්ගේ ඉනිම අලංකාර හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. පන්දු 52 කින් පැමිණි තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 81 කි. ඒ වෙනුවෙන් බාබර් අසාම්ගේ දායකත්වය ලකුණු 46 ක් වූවත් අසාම් කළේ ෆර්හාන්ගේ ප්‍රහාරයට ඉඩදෙමින්, තනි සහ ද්විත්ව ලකුණු ලබාගැනීමයි. 15 වැනි ඕවරයේදී බාබර් ආසාම් දැවී යන්නට පෙර, ලකුණු පුවරුව සටහන් කළේ කඩුලු 2 කට 137 ක් ලෙසිනි. 

පන්දු 12 කින් ලකුණු 30 ක් ලබාගත් ශදාබ් ඛාන් දැවී යන විට ඉතිරිව තිබුණේ පන්දු 9 කි. ලකුණු 23 ක් මෑතින් 200 කඩඉම පෙණුනු බැවින් ඒ කරා යන්නට ගිය පාකිස්තානුවන්ගේ කඩුලු 5 ක් ඉතිරි පන්දු 10 ඇතුළතදී බිඳ වැටුණේ සම සාමාජික රටවල ක්‍රීඩකයන්ගේ දස්කම් මැනවින් කරළියට ගෙන එමිනි. 

ඉලක්කය ඉහළින් තිබුණත් ඇමරිකානුවෝ සටනක් නොදී පසුබෑම ප්‍රතික්ෂේප කළහ. 

ප්‍රවේශයේ ඕවර 6 න් ලකුණු 50 ක් ලබාගත් ඇමරිකානුවෝ 15 වැනි ඕවරයේදී 100 වැනි ලකුණු පුවරුවට එකතු කළහ. ශායන් ජහාන්ගීර්ගේ (49) දැවී යාමෙන් පසුව එක්වූ මිලින්ද් කුමාර් (29) සහ  ෂුබ්හැම් රන්ජනී (51) පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ අභීතව පිති හරඹයේ යෙදුණහ. පාකිස්තානයේ ප්‍රධානතම පන්දු යවන්නා වන ශහීන් ෂා අෆ්රීඩි හමුවේ ෂුබ්හැම් රන්ජනී පිට පිටම ගැසූ හයේ පහර දෙක පන්දු යවන්නාට නම් කලකට අමතක නොවනු ඇත. 

පාකිස්තානු පිලේ මීළඟ තරගය ලබන ඉරිදා (15 වැනිදා) ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

ඇමරිකා එක්සත් ජනපද පිලේ මීළඟ තරගය 13 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව චෙන්නායි නුවර චෙපොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

 

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 9 ට 190 යි
(සයිම් අයුබ් 19, ශසිබඩ්සා ෆර්හාන් 73, බාබර් අසාම් 46, ශදාබ් ඛාන් 30, සැඩ්ලි වැන්ෂොල්මක් 25/4)

 

ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 20 කදී කඩුලු 8 ට 158 යි

(ඇන්ඩ්‍රියස් ගවුස් 13, ශායන් ජහාන්ගීර් 49, මිලින්ද් කුමාර් 29, ෂුබ්හැම් රන්ජනී 51, ශදාබ් ඛාන් 26/2, උස්මාන් තරීක් 27/3)

- 213


අදහස් (0)

පාකිස්තානයට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.