Last Update  :  2026-02-10 18:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙදර්ලන්තයට කඩුලු 7 ක පහසු ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

නෙදර්ලන්තයට කඩුලු 7 ක පහසු ජයක්

editorial - 2026 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය හමුවේ ජයගැනීමට තිබූ තරගය අවසන් ඕවරයේදී පරාජය වූ නමුත් එය සහමුලින්ම අමතක කර දැමී නෙදර්ලන්තය, නවදිල්ලියේදී අද (10 වැනිදා) පැවැති තරගයේදී නැමීබියාව පරාජය කරමින් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. නෙදර්ලන්තය වෙනුවෙන් වටිනා කඩුලු දෙකක් දවාගත් තුන් ඉරියව් ක්‍රීඩක බස් ඩි’ලීඩි, නොදැවී ලකුණු 72 ක් ලබාගනිමින් නෙදර්ලන්ත කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියාව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. කිසිදු අපහසුවකින් තොරව, ඕවර 18 කදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූ නෙදර්ලන්ත පිතිකරුවෝ කඩුලු 3 ට ලකුණු 158 ක් ලබාගත්හ. 

ආරම්භයේ සිටම නැමීබියානුවන් පාලනය කරගත් නෙදර්ලන්ත පන්දු යවන්නෝ, පළමුවෙන් පන්දු යැවීමට ගත් තීරණය සාධාරණීකරණය කළේ පළමු ඕවර තුන ලකුණු 13 කට සීමා කරමිනි. කෙසේ වෙතත් නැමීබියානුවන්ගේ ප්‍රවේශය (ඕවර 1-6) නිමාවන විට ලකුණු 40 ක් පුවරුවේ තිබිණ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැඟුණ නමුත් නැමීබියානුවන් 100 වැනි ලකුණ ලබාගන්නා විට ඕවර 13.1 ක් අවසන් වී තිබිණ. 

නැමීබියානුවන් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් නිකොල් ලොෆ්-ටීටන් ද ඇතුළුව ඉදිරිපෙළ පිතිකරුවෝ තිදෙනෙක් ලකුණු 30 ක් ඇතුළත දැවී ගියහ. පිට පිට හයේ පහර දෙකකින් රූලොෆ් වැන්ඩර්මර්ව්ට සංග්‍රහ කළ ජේ.ජේ. ස්මිත් තරමක තර්ජනයක් වන බැව් පෙන්නුම් කළ නමුත් බස් ඩී’ලීඩි පිතිකරුවාගේ තර්ජනය නිමා කළේය. 

කඩුලු 3 ට ලකුණු 107 ක් ව තිබූ නැමීබියානු ලකුණු පුවරුව, ඕවර 5 ක් ඇතුළත කඩුලු 8 ට 156 ක් ලෙසින් සටහන් කළේය. ඉනිම අග්ගිස්සේ ඕවර 4 න් නැමීබියාවට ලැබුණේ ලකුණු 31 කි. 
නෙදර්ලන්ත ඉනිම ආරම්භයේදීම මැක්ස් ඕ’ඩාවුඩ් දැවී ගියද මයිකල් ලෙවිට්ගෙන් නැමීබියානු පන්දු යවන්නන්ට සහනයක් නොලැබිණ. හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ද සමගින් පන්දු 15 කින් ලකුණු 28 ක් ලබාගත් ලෙවිට් පිටියෙන් ඉවත්ව යාමෙන් පසුව බස් ඩී’ලීඩිට එක්වූ කොලින් ඇකර්මන් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක් එකතු කරමින් නෙදර්ලන්තය ජය ටැඹ ආසන්නයට කැඳවාගෙන ගියේය. 

හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ද සමගින් බස් ඩි’ලීඩි නොදැවී ලකුණු 72 ක් ලබාගනිද්දී නෙදර්ලන්ත නායකයාට (නොදැවී 18) පැවරී තිබුණේ සුළු වගකීමකි. 

නැමීබියාව - ඕවර 20 කදී කඩුලු 8 ට 156 යි
(යාන් ෆ්‍රයිලින්ක් 30, නිකොල් ලොෆ්ටීටන් 42, ජෙරාඩ් එරැස්මස් 18, ජේ.ජේ. ස්මිත් 22, ලෝගන් වැන්-බීක් 13/2, බස් ඩී’ලීඩි 20/2)

නෙදර්ලන්තය - ඕවර 18 කදී කඩුලු 3 ට 159 යි
(මයිකල් ලෙවිට් 28, බස් ඩී’ලීඩි නොදැවී 72, කොලින් ඇකර්මන් 32, ස්කොට් එඩ්වඩ් නොදැවී 18)

- 213


අදහස් (0)

නෙදර්ලන්තයට කඩුලු 7 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.