Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවන් තුෂාරට ඉන්දීය සංචාරය අහිමි වෙයි ?
ක්‍රිකට්

නුවන් තුෂාරට ඉන්දීය සංචාරය අහිමි වෙයි ?

editorial - 2022 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඕස්ට්‍රේලියාවට එරෙහිව කැන්බරාහිදී පැවැති තෙවැනි විස්සයි-20 තරගයේ පන්දු යවමින් සිටියදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට එළඹෙන ඉන්දීය සංචාරය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඕස්ට්‍රේලියානු සංචාරය නිමා වීමෙන් අනතුරුව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියක් සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය. 

තෙවැනි විස්සයි-20 තරගයෙදී ඕස්ට්‍රේලියානු ඉනිමේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් අනතුරුව ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්ව ගිය තුෂාර, තරගය නිමාවන තෙක්ම යළිත් පන්දු යැවීම සඳහා පිටියට නොපැමිණියේය. ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීයෙක් ‘ලංකාදීප’යට කියා සිටියේ තුෂාරගේ වම් ඇලපතේ මස්පිඬු ඇදීමක් සිදුව ඇති බවත්, ඉන් පූර්ණ සුවය ලැබීම සඳහා ඔහුට සති කිහිපයක් විවේක ගැනීමට සිදුවන බවත්ය. 

ඒ අනුව මේ මස 24 වැනිදා ආරම්භ වන ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද බොහෝ දුරට තුෂාරට අහිමිවනු ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය. ඉන්දීය විස්සයි-20 තරගාවලියේ සෙසු තරග 2 මෙම මස 26 සහ 27 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. ඉන් පළමු තරගය ලක්නව්හිදී ද, දෙවැනි සහ තෙවැනි තරග ධරම්ශාලාහිදී ද පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා තිබේ. 

තෙවැනි තරගයට පෙර ඉකුත් 15 වැනිදා සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය. දින 7 ක නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව මේ මස 21 වැනිදා වනිඳු යළිත් පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණදීමට නියමිත අතර එහි ප්‍රතිඵල ඍණාත්මක වුවහොත් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඉන්දියාව බලා පිටත්ව යෑමට අවස්ථාව හිමිවනු ඇත. 

කෙසේ වුවත් තෙවැනි තරගයට පෙර සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල තහවුරු කර ගැනීම සඳහා එදිනම මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලද ධනාත්මක වීම හේතුවෙන් වනිඳුට ඕස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග දෙකට ක්‍රීඩා කිරීමේ අහිමිවනු ඇත. මේ වන විට ඔහු කණ්ඩායමෙන් ඉවත්ව වෛද්‍ය ප්‍රතිකාර යටතේ නිරෝධායනය වෙමින් සිටියි. ඕස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග දෙක හෙට (18 වැනිදා) සහ එළබෙන ඉරිදා (20 වැනිදා) මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතය. 

සිඩ්නිහිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයට පෙර දිනයේදී (12 වැනිදා) කොඩිව් ආසාදිත බවට හඳුනාගත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඔහුගේ නිරෝධායන කාලය නිමා වීමෙන් අනතුරුව මේ මස 18 වැනිදා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකටත්, 19 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණකටත් මුහුණදීමට නියමිතය. එම පරීක්ෂණ දෙකේම ප්‍රතිඵල ඍණාත්මක වුවහොත් ඔහුට 20 වැනිදා පැවැත්වෙන අවසන් විස්සයි-20 තරගයට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.

මේ අතර තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි රමේෂ් මෙන්ඩිස්ද, පුහුණුවීම් අතරතුර දකුණතේ මහපටගිල්ලේ අස්ථි පිපිරුමක් සිදුවීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි. එබැවින් ඔහුටද ඕස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරග දෙක සහ ඇතැම් විට ඉන්දීයාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියද අහිමි වීමට ඉඩ තිබේ. 

 


අදහස් (0)

නුවන් තුෂාරට ඉන්දීය සංචාරය අහිමි වෙයි ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.