Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිස්සංක - චමීර - වනිඳු ඉලක්කයට යති
ශ්‍රී ලංකා - එමීර් තරගය

නිස්සංක - චමීර - වනිඳු ඉලක්කයට යති

editorial - 2022 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
 
 
පැතුම් නිස්සංකගේ අති විශිෂ්ට පිතිහරඹයත්, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග දෙදෙනාගේ සටන්කාමී පන්දු යැවීමත් නිසා, ජිලෝන්ග්හිදී අද (18 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ලකුණු 79 ක දැවැන්ත ජයක් අත්කරගත්හ. තරගයට පෙර -2.750 ක්ව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය, මෙම ජයග්‍රහණයේ විශාලත්වය හේතුවෙන් +0.600 ක් දක්වා ඉහළ දමාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
 
පළමු තරගයේදීම, නැමීබියාව හමුවේ ලකුණු 108 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, ශුද්ධ ලකුණු වේගය අනුව බරපතළ අවාසියකට මුහුණ දුන්නේය. 
 
අද තරගයේදී වුවද, වරෙක කඩුලු 2 කට ලකුණු 117 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ට අපේක්‍ෂිත ඉලක්කය කරා යා නොහැකි වූයේ කාර්තික් මෙයියප්පන්ගේ කඩුලු ත්‍රිත්වය හේතුවෙනි. එසේ වුවත් ඉතාමත් සටන්කාමී විලාසයෙන් පන්දු යැවූ දුෂ්මන්ත චමීර (15/3) සහ වනිඳු හසරංග (08/3) ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂා කළ ධන ලකුණු වේගය සොයා ගෙනැවිත් දුන්හ. 
 
ලකුණු 153 ක ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි එමීර් පිතිකරුවෝ පළමු ඕවරයේදී ප්‍රමෝද් මධුෂාන්ගෙන් ලකුණු 10 ක් උදුරා ගත්හ. ඊළඟ ඕවරයේදී මහීෂ් තීක්‍ෂණ හමුවේත් ඔවුන් සාර්ථක වූ නමුත් තුන්වැනි ඕවරයේදී දුෂ්මන්තගෙන් ලැබුණේ විනාශකාරී පන්දු වැලකි. 
 
දුෂ්මන්ත චමීර සිය මුල්ම ඕවරය නිමා කළේ ලකුණු 02 කට කඩුලු දෙකක් දවාගනිමිනි. 
 
එතැන් සිට එමීර් පිතිකරුවන්ගේ ගෙල සිරකරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉනිමේ අඩක් නිමාවේදී ලකුණු 36 කට කඩුලු 6 ක් බිම දැමූහ. ඉනිමේ දෙවැනි අර්ධයේ තිබුණේ ජයගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයකට වඩා එමීර් ක්‍රීඩකයන්ගේ ගමන නතර කරන්නේ කොතැනින්ද යන්නයි. 
 
අවසානය ආසන්නයේදි පහසු උඩපන්දු දෙකක් ම ගිළිහී ගිය නමුත් පැතුම් නිස්සංකගේ දෑත්, ඔහුගේ පිතිහරඹය තරමටම සුරක්‍ෂිත වූයෙන් එමීර් ඉනිම ලකුණු 73 දී නිමා විය. 
 
කාසියේ වාසිය අහිමි වීම හේතුවෙන් පිති අරගෙන පළමුවෙන්ම පිටියට ගිය  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය. එමීර් පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අනපේක්‍ෂිත පහරක් දුන් කාර්තික් මෙයියප්පන්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය ලබාගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අපේක්‍ෂිත ඉලක්කයට තරමක් මෙපිටින් නතර වීමට සිදුවිය. 
 
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 60 කින් ලබාගත් ලකුණු 74 ට 6 පහර දෙකක් සහ  4 පහර හයක් ඇතුළත් විය. 
ඕවර 14 කදී කඩුලු 2 කට ලකුණු 114 ක් රැස්කරමින්, ඕවරයකදී 8.14 ක ලකුණු වේගයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා පිලේ ඉලක්කය වූයේ ලකුණු 160 ට වැඩි ගණනකි. එහෙත් මෙයියප්පන්ගේ කඩුලු ත්‍රිත්වය හරස්වීම නිසා ශ්‍රී ලංකාවේ ඉලක්කගත ගමන අතරමග නතර විය. 
 
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙදෙනාගෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලැබිණ. ඕවර 4 කින් ලකුණු 37 ක් ලබාගත් මෙන්ඩිස් සහ නිස්සංක දෙදෙනා, ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එතැන් සිට තරගයේ පාලනය අතට ගත් නිස්සංක සහ ධනංජය ද සිල්වා, අලංකාර ස්ලොග් ස්වීප් පහර මෙන්ම ඉන්සයිඩ් අවුට් පහර කිහිපයකින්ම අරාබි පන්දු යවන්නන්ට සංග්‍රහ කරමින් 12 වැනි ඕවරය වන විට තවත් ලකුණු 50 ක  සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. 
 
සහූර් ඛාන් වේගය අඩාල කරමින් යැවූ පන්දුවක්, පිට ඉන්නට එපිටින් ඇදී යද්දී, ක්‍ෂණිකව ඊට ස්ථානගත වූ පැතුම් නිස්සංකගේ පැඩ්ල් ස්වීප් පහරින් පන්දුව හතරේ සීමාවට ගියේය. එහෙත් ඊට පෙර පිතිකරුවා බිම ඇද වැටී සිටියේය. 
 
ඉනිමේ 19 වැනි ඕවරය නිමා වන විට ලකුණු 149 ක් පුවරුවේ තිබුණ නමුත් අවසන් ඕවරය යැවූ සහූර් ඛාන් වේගයන් වෙනස් කරමින්, ශ්‍රී ලංකා පිතිකරුවන් මුළාවට පත්කළේ ලකුණු 03 ක් පමණක් දෙමින් කඩුලු දෙකක් ද දවාගනිමිනි. 
 
ලකුණු පුවරුව 
 
ශ්‍රී ලංකාව 
 
පැතුම් නිස්සංක - ඇ.බැසිල් හමීඩ් ප.සහූර් ඛාන් 74
කුසල් මෙන්ඩිස් - ක.මු.කළා ප.අර්යන් ලක්රා 18
ධනංජය ද සිල්වා - දුවද්දී දැවී ගියා 33
භානුක රාජපක්‍ෂ - කශීෆ් ඩාවුඩ් ප.මෙයියප්පන් 5
චරිත් අසලංක - ඇ.අරවින්ද් ප.මෙයියප්පන් 0
දසුන් ශානක - ප.මෙයියප්පන් 0
වනිඳු හසරංග - ඇ. බැසිල් හමීඩ් ප.ආයන් ඛාන් 2
චාමික කරුණාරත්න - ඇ.කශීෆ් ඩාවුඩ් ප.සහූර් ඛාන් 8
ප්‍රමෝද් මධුශාන් - නොදැවී 1
දුෂ්මන්ත චමීර - නොදැවී 1
අතිරේක 10
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 152
 
කඩුලු වැටීම : 
1-42(කුසල් මෙන්ඩිස්), 2-92(ධනංජය ද සිල්වා), 3-117(භානුක රාජපක්‍ෂ), 4-117(චරිත් අසලංක), 5-117(දසුන් ශානක), 6-120(වනිඳු හසරංග), 7-150(චාමික කරුණාරත්න), 8-151(පැතුම් නිස්සංක)
 
පන්දුවට පහර නොදුන් පිතිකරු : 
මහීෂ් තීක්‍ෂණ
 
පන්දු යැවීම : 
ජුනයිඩ් සිද්දික් : 4-0-36-0
කශීෆ් ඩාවුඩ් : 1-0-14-0
සහූර් ඛාන් : 4-0-26-2
ආයන් ඛාන් : 3-0-16-1
ආර්යන් ලක්රා : 3-0-24-1
කාර්තික් මෙයියප්පන් : 4-0-19-3
බැසිල් හමීඩ් : 1-0-13-0
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
 
මොහොමඩ් වසිම් - ප.චමීර 2
චිරාග් සූරි - ප.ප්‍රමෝද් මධුෂාන් 14
ආර්යන් ලක්රා - ප.චමීර 1
චුන්දන්ගාපොයිල් රිස්වාන් - ඇ.රාජපක්‍ෂ ප.චමීර 1
විරිත්ත්‍යා අරවින්ද් - ක.මු.කළා ප.හසරංග 9
බැසිල් හමීඩ් - ඇ.ධනංජය ප.දසුන් ශානක 2
අයාන් ඛාන් - ප.හසරංග 19
කශීෆ් ඩාවුඩ් - ක.මු.කළා ප.හසරංග 0
කාර්තික් මෙයියප්පන් - ස්ට. කුෂල් මෙන්ඩිස් ප.තීක්‍ෂණ 4
ජුනයිඩ් සිද්දික් - ඇ.නිස්සංක ප.තීක්‍ෂණ 18
සහූර් ඛාන් - නොදැවී 1
අතිරේක 2
එකතුව ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 73
 
කඩුලු වැටීම : 
1-15(මොහොමඩ් වසිීම්), 2-17(ආර්යන් ලක්රා), 3-19( චුන්දන්ගාපොයිල් රිස්වාන්) , 4-21(චිරාග් සූරි), 5-30(බැසිල් හමීඩ්), 6-36(විරිත්‍යා අරවින්ද්), 7-42(කශීෆ් ඩාවුඩ්), 8-52(කාර්තික් මෙයියප්පන්), 9-56(ආයන් ඛාන්), 10-73(ජුනයිඩ් සිද්දික්)
 
පන්දු යැවීම : 
ප්‍රමෝද් මධුෂාන් :   3-0-14-1
මහීෂ් තීක්‍ෂණ : 3.1-0-15-2
දුෂ්මන්ත චමීර : 3.5-0-15-3
චාමික කරුණාරත්න :   2-0-14-0
වනිඳු හසරංග :   4-1-08-3
දසුන් ශානක :  1.1-0-07-1
 
තරගයේ වීරයා - පැතුම් නිස්සංක

අදහස් (0)

නිස්සංක - චමීර - වනිඳු ඉලක්කයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.