ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල සහ සංචාරක දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිල අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් සිව්දින තරගය විසඳුමකින් තොරව අද (05) අවසන් විය.
තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල සිව්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය ලැබීය.
ජයග්‍රහණය සඳහා ඕවර 75 කදී ලකුණු 291 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟීඑන පිල අද පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 260 ක් ලබා සිටියේය. අවසන් ඕවර 10 යේදී ලකුණු 51 ක් රැස්කිරීමට තිබුණ ද එම කාලය තුළ තවත් කඩුලු දෙකක් බිඳ වැටීමෙන් රැස්කළ හැකි වූයේ ලකුණු 20 ක් පමණි.
සම්මු අෂාන් සහ පැතුම් නිස්සංක පස්වැනි කඩුල්ලට පන්දු 138 කින් ලකුණු 112 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආහ. පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් ජයග්‍රහණය අතහැර දැමීමට සිදුවිය.
සම්මු අෂාන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 71 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස්කිරීමට සමත් විය. සම්මු සිය පිට පිටම දෙවැනි අර්ධ ශතකය පන්දු 48 කින් සම්පූර්ණ කළේය.
පැතුම් නිස්සංක අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දු 115 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය.
දකුණු අප්‍රිකානු පිල අද පෙරවරුවේ පළමු පැයේ පන්දුවට පහර දෙමින් කඩුල්ලක් නොදී තවත් ලකුණු 49 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලට ලකුණු 291 ක ඉලක්කයක් බාර කළේය.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (04) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට දකුණු අප්‍රිකානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 344 ක් රැස්කරමින් ලකුණු 241 ක් ඉදිරියෙන් සිටියේය.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පීඩනයක් යොමු කිරීමට පෙරේදා දිනය පුරා අපොහොසත් වූහ. ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන ජෙෆ්රි වැන්ඩසේ යැවූ පන්දුවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කෙටි සහ දුර්වල පන්දු වූ අතර ඔහු ඕවර 21 ක් යැවුවද කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උඩ පන්දු 10 කට ආසන්න සංඛ්‍යාවක් අතහැරීමෙන් ද දකුණු අප්‍රිකානු පිලට සාර්ථක වීමට මඟ විවර විය. රේනාඞ් වෑන් ටොන්ඩර් ලකුණු 40 ක් ලබා සිටියදී කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවකට සම්මු අෂාන් වෙත ලබාදුන් පහසු උඩ පන්දුව ගිලිහී යෑමෙන් නැවත තරගයට අවතීරණ වීමට තිබූ අවස්ථාව මඟ හැරුණි.
රේනාඞ් වෑන් ටොන්ඩර් ලකුණු 68 ක් ලබා සිටියදී ළහිරු ගමගේ යැවූ පන්දුවක් දකුණු අතේ දඹර ඇඟිල්ලක් වැදී තුවාල වීමෙන් පිටියෙන් ඉවත්විය. ඔහුගේ ඇඟිල්ලේ තුවාලයට සූරියවැව රෝහලෙන් ප්‍රතිකාර ලබා නැවත පැමිණිය ද එක්දින තරගාවලියට සහභාගි වීමට නොහැකි වේ.
නායක ටෝනි ඩී සෝසි සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 167 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත් විය.
දෙපිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 9 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකනු නැඟීඑන ක්‍රිකට් පිල - පළමු ඉනිම ඕවර 64.3 කදී සියලු දෙනා දැවී 216
(රයන් රිකල්ටන් 51, නන්ද්‍රි බර්ගර් 31, කමිඳු මෙන්ඩිස් 32/4)
ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල - පළමු ඉනිම ඕවර 92 කදී සියලු දෙනා දැවී 319
(චරිත් අසලංක 100, සම්මු අෂාන් 61, ලුතෝ සිපම්ලා 75/4)
දකුණු අප්‍රිකනු නැඟීඑන ක්‍රිකට් පිල - දෙවැනි ඉනිම
රයන් රිකල්ටන් - ප. බිනුර 37
ටෝනි ඩී සෝසි - ඇ. නිස්සංක ප. ළහිරු ගමගේ 103
කාගිසෝ රපුලානා - ප. අකලංක 41
රේනාඞ් වෑන් ටොන්ඩර් - තුවාල ලබා ඉවත් වුණා 68
මැතිව් බි්‍රටිෂ්කි - ක. මූ. කළා ප. කවිඳු 21
ජෙවෙෂාන් පිල්ලෙයි - ඇ. කමිඳු ප. අසලංක 15
ඊතාන් බොස්ච් - ප. බිනුර 23
මන්ගාලිසෝ න්ලිබිලා - නොදැවී 28
ග්‍රෙගරි මලොක්වානා - නොදැවී 29
අතිරේක 27
එකතුව ඕවර 114 කදී කඩුලු 6 ක් දැවී 393
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
නන්ද්‍රි බර්ගර්, ලුතෝ සිපම්ලා
කඩුලු වැටීම:
1-83(රිකල්ටන්), 2-182(රපුලානා), 3-200(සෝසි), 4-253(බි්‍රටිෂ්කි), 5-279(පිල්ලෙයි), 6-329(බොස්ච්)
පන්දු යැවීම:
ළහිරු ගමගේ: 22-2-68-1, නිසල තාරක: 12-2-39-0, කවිඳු මෙන්ඩිස්: 29-1-95-1, ජෙෆ්රි වැන්ඩසේ: 21-1-89-0, බිනුර ප්‍රනාන්දු: 17-4-33-2, චරිත් අසලංක: 13-1-51-2
ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල දෙවැනි ඉනිම
සදීර සමරවික්‍රම - ඇ. ඔන්කි නයිකු ප. බොස්ච් 19
කෞෂාල් සිල්වා - ස්ටම්ප් රිකල්ටන් ප. න්ලිබිලා 49
ළහිරු මිලන්ත - ඇ. රිකල්ටන් ප. බර්ගර් 21
පැතුම් නිස්සංක - ඇ. පිල්ලෙයි ප. බර්ගර් 62
චරිත් අසලංක - ඇ. ඔන්කි නයිකු ප. න්ලිබියා 10
සම්මු අෂාන් - ඇ. න්ලිබිලා ප. බොස්ච් 71
කමිඳු මෙන්ඩිස් - ඇ. රපුලානා ප. බර්ගර් 1
නිසල තාරක - නොදැවී 12
බිනුර ප්‍රනාන්දු - ප. බොස්ච් 2
ජෙෆ්රි වැන්ඩසේ - නොදැවී 5
අතිරේක 8
එකතුව ඕවර 75 කදී කඩුලු 8 ක් දැවී 260
පන්දුවට පහර නොදුන් පිතිකරු:
ළහිරු ගමගේ
කඩුලු වැටීම:
1-56(සදීර), 2-80(කෞෂාල්), 3-97(මිලන්ත), 4-124(අසලංක), 5-236(නිස්සංක), 6-240(සම්මු), 7-241(කමිඳු), 8-244(බිනුර)
පන්දු යැවීම:
ලුතෝ සිපම්ලා: 4-1-20-0, ග්‍රෙගරි මලොක්වානා: 17-1-68-0, ඊතාන් බොස්ච්: 16-3-49-3, මන්ගාලිසෝ න්ලිබිලා: 20-5-70-2, නන්ද්‍රි බර්ගර්: 14-3-33-3, කාගිසෝ රපුලානා: 4-0-19-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.