Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාමයෝජනා 40 න් 23 ක්ම ප්‍රතික්ෂේප කරයි

නාමයෝජනා 40 න් 23 ක්ම ප්‍රතික්ෂේප කරයි

editorial - 2022 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයට (2022-23) ඉදිරිපත් වූ නාමයෝජනා 40න් 23ක්ම ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් දෙදෙනෙකුගේ නාමයෝජනා වයස 70ට වැඩි පුද්ගලයන් වීම නිසා පළමු වතාවට ප්‍රතික්ෂේප වීම කැපී පෙනේ.

මෙතෙක් පාපන්දු ආයතනයේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතා මෙවර නිලවරණයේදී එම ධුරය හැරෙන්නට සභාපති ධුරය සඳහා ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි.

ඒ අතර උපසභාපති ධුරයකට යළි තරග වදින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතාගේ නාමයෝජනාවද ඔහු වයස 70 ට වැඩිවීම නිසා ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ.

ඔවුන්ට මෙම වාරණය පැනවී ඇත්තේ වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා නොබෝදා ගැසට් කළ ක්‍රීඩා නව රෙගුලාසි මාලාව හමුවේය. එහි දක්වා තිබෙන වයස සීමාව යටතේ ජාතික ක්‍රීඩා සංගමයක නිලධාරියෙකුගේ හෝ එහි කමිටු සාමාජිකයෙකුගේ ධුර කාලයක් දැරිය හැකි උපරිම වයස් සීමාව වයස අවුරුදු 70 දක්වා සීමා කරනු ලබන්නේය, යනුවෙන් අර්ථ දක්වා තිබේ.

කෙසේ වුවත් මෙම වයස් සීමා රෙගුලාසිය මේ වනවිට මතභේදයට තුඩුදී තිබෙන අතර ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක ප්‍රධානීහු ප්‍රකාශ කර ඇත්තේ ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ජනවාරි 14 වැනිදා පෙවරවරු 10ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී ලීග 56 ක සහභාගීත්වයෙන් පැවැත්වේ. පාපන්දු සම්මේලනයේ මෙතෙක් සභාපති ධුරය දැරූ ජස්වර් උමාර් හා ඔහුගේ ප්‍රතිවාදී වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ. ශ්‍රී රංගා යන මහත්වරු මෙවර සභාපති ධුරය සඳහා නාමයෝජනා බාරදී තිබේ.

එහිදී ඔවුන් දෙදෙනාට ඉදිරිපත් වූ විරෝධතා නිලවරණ කමිටුව ඉවත දමා තිබේ. සභාපති ධුරයට නාමයෝජනා බාර දුන් හිටපු ජාතික පාපන්දු පුහුණුකරු සම්පත් පෙරේරා මහතාගේ නාමයෝජනාවද ප්‍රතික්ෂේප වී ඇත්තේ ඔහු පුහුණුකරුවෙකු වන බව දක්වමිනි.

ඒ අතර යාපනය පාපන්දු ලීගයේ සභාපති එම්මානුවෙල් අනෝල්ඩ් හා නාවලපිටිය පාපන්දු ලීගයේ සභාපති ජගත් කුමාර ද සිල්වා යන මහත්වරු සභාපති ධුරයට ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගැනීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ. එහෙත් එම්මානුවෙල් අනෝල්ඩ් මහතා සභාපති, ලේකම් සහ උප සභාපති තනතුරු තුනටම ඉල්ලුම් කර තිබේ.

නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේපවීමේදී කැපීපෙනෙන කාරණා වන්නේ සභාපති අපේක්‍ෂක ජේ. ශ්‍රී රංගා මහතාගේ පාර්ශ්වයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු හැරෙන්නට සෙසු තනතුරු සඳහා ඉදිරිපත් වූ සියලු නාමයෝජනා ප්‍රතික්ෂේප වීමයි.

ඒ අතර උප භාණ්ඩාගාරික ධුරය සඳහා සභාපති අපේක්ෂක ජස්වර් උමාර් හා සභාපති අපේක්ෂක ජේ. ශ්‍රී රංගා යන මහත්වරු නියෝජනය කරන දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව උප භාණ්ඩාගාරික ධුරයට සුදුස්සෙකු තෝරා ගැනීම පාපන්දු ආයතන නිලවරණයෙන් පසුව කැඳවෙන විශේෂ මහ සභා රැස්වීමක දී සිදුකළ යුතුව ඇත.

නිලවරණයෙන් පත් කෙරෙන උප සභාපති ධුර හතරක් සඳහා නාමයෝජනා 13ක් ඉදිරිපත්වීමේ දී ප්‍රතික්ෂේප වූ නාමයෝජනා ගණන 9ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනවාරි 14 වැනිදා පැවැත්වෙන නිලවරණයේ දී ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වයෙන් නාමයෝජනා ඉදිපත් කළ අපේක්ෂකයන්ට උප සභාපති ධුර හතර සඳහා පත්වීමේ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

පාපන්දු ආයතනයේ විධායක සභාවේ උප සභාපති ධුර ගණන පහක් වන අතර ඉන් එක ධුරයක් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයට නිල බලයෙන් හිමිවේ.

උප ලේකම්  ධුර දෙකක් පිරවීමේදී උප ලේකම් (පරිපාලන) තනතුරු සඳහා ඉදිරිපත් වූ සෙසු නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප වීමෙන් බියගම ලීගයේ දිපිකා කුමාරි මහත්මිය ඒ සඳහා නිතරගයෙන් පත්වීමට නියමිතය.
ඇය මෙවර පාපන්දු නිලවරණයට ඉදිරිපත් වූ එකම අපේක්ෂිකාවයි.

ප්‍රධාන ලේකම් ධුරයට ඉන්දික තේනුවර (මාතර), එමානුවෙල් ආනෝල්ඩ් (යාපනය) හා ජගත් කුමාර ද සිල්වා (නාවලපිටිය) යන මහත්වරු තරග වදිති.

මෙවර පාපන්දු ආයතනය නිලවරණයේ කාලසීමාව මාස පහකට පමණක් සීමාවේ. ලබන මැයි 31 වැනිදාට පෙර නැවත එහි නිලවරණය කැඳවිය යුතුය. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම විවෘත (අත ඔසවා) සිදු කෙරේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අචාර්ය යු.එල්.ඒ. මජිඩ් (සභාපති) විශ්‍රාමික මාහාධිකරණ විනිසුරු බන්දුල කේ. අතපත්තු හා අමාත්‍යාංශ විශ්‍රාමික අතිරේක ලේකම් එස්. මැදවැව යන මහත්වරු මෙවර පාපන්දු නිලවරණය මෙහෙයවන නිලවරණ කමිටුවට පත්කර තිබේ.

ජස්වර් උමාර් මහතා පාපන්දු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන බව දක්වමින් ඔහුගේ නාම යෝජනාවට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතාව නැවැත සළකා බලන ලෙස විරෝධතාකරුවන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙන බව ද මේ අතර වාර්තාවේ.


අදහස් (0)

නාමයෝජනා 40 න් 23 ක්ම ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.