Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නරියාකන්ද සුපර් ක්‍රොස් අවලංගුයි

නරියාකන්ද සුපර් ක්‍රොස් අවලංගුයි

editorial - 2021 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
ශානුක අරවින්ද
---------------------

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් පිට පිටම දෙවැනි වරටත් නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකයන් වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨය තීරණය කර තිබේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරියේ සහ ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ මෙහෙයවිම යටතේ මේ මස හෙට සහ අනිද්දා (17 සහ 18) යන දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

කොරෝනා වයිරසය පැතිර යෑම හේතුවෙන් ඉකුත් වසරේදීද (2020) මෙම තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමුණ අතර පසුව අවලංගු කර දැමිණ. ඒ අනුව 1993 වසරේ සිට වසර 27 ක් පුරා නොකඩවා පැවැති නරියා කන්ද තරගාවලිය කොරෝනා වයිරසයේ බලපෑම හමුවේ දෙවැනි වරටත් කල් දැමීමට සිදුව සිදුවිය.

අවසන් වරට පැවැති (2019) නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියද පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවූ අතර එම තරගාවලිය නතර කරන විට ඊට ඇතුළත්ව තිබූ තරග ඉසව් 24 න් නිමාවට පත්වී තිබුණේ ඉසව් 17 ක් පමණි. ඒ වන විට දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගැනෙන තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනෙන තරග දෙකෙන් එකක් පවත්වා නොතිබීම හේතුවෙන් එවර දක්ෂතම ක්‍රීඩකයන් සඳහා ශූරතා ප්‍රදානය නොකෙරිණ.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සමාජයේ නියෝජිතයකුගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය බහුල වශයෙන් ප්‍රේක්ෂකයන් රැස්වන තරගාවලියක් වීමත්, තවමත් යම් තරමක හෝ කොරෝනා අවදානම් තත්වයක් රටතුළ පැවතීමත් සැලකිල්ලට ගනිමින් නරියාකන්ද තරගාවලිය මේ වසරේදී අත්හැර දැමීමට පියවර ගත් බවය. කෙසේ වුවත් මැයි මස 15 වැනිදායින් පසුව රටතුළ පවතින තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නව දිනයන් යොදාගනිමින් යුද හමුදාව සංවිධානය කරන අනෙකුත් සුපර් ක්‍රොස් තරගවලින් කිහිපයක් හෝ පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් කීය.

මේ අතර පාලන අධිකාරිය වන ශ්‍රී ලංකා මෝටර් ක්‍රීඩා සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට කියා සිටියේ මැයි මස අවසන් වන තෙක් වැඩි වශයෙන් නරඹනන්න් රැස්වන තරගාවලි නොපැවැත්වීමට තම සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදාව තීරණයකට එළඹ ඇති බවයි. කෙසේ වුවත් එම කාල වකවානුව තුළ ක්‍රීඩකයන්ට සිදුවන අසාධාරණය වැලැක්වීම සඳහා කඳු තරණ තරගාවලි කිහිපයක් පැවැත්වීමට තම අනු සංගම් සහ ක්‍රීඩා සමාජවලට අවස්ථාව ලබා දී ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස වසර ආරම්භයේදී මෝටර් රථ තරග කාලසටහනට ඇතුළත්ව නොතිබූ කුකුලේ ඟග කඳු තරණය (අප්‍රේල් 10 සහ 11) සහ කොත්මලේ කඳු තරණය (මැයි 1 සහ 2) අලුතින් කාලසටහනට එක් කිරීමට තම සංගමය පියවර ගත් බවද ඒ මහතා කියා සිටියේය. එම තරගාවලි දෙකට අමතරව එළියකන්ද තරණය පෙබරවාරි මස 27 සහ 28 යන දිනවලදීද, මාගස්තොට කඳු තරණය අප්‍රේල් මස 3 සහ 4 යන දිනවලදීද සාර්ථක අයුරින් පැවැති බවද හෙතෙම පැවසීය.

ඉදිරියේදී කොරෝනා අවදානම් තතත්වය තවදුරටත් පහවගියහොත් මේ වසර නිමා වීමට පෙර අවම වශයෙන් සුපර් ක්‍රොස් තරගාවලි තුනක් පැවැත්වීමට යුද හමුදාව සමග සාකච්ඡා කරමින් පවතින් බවත්, ගජබා සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස් සහ වලව සුපර්ක්‍රොස් එම තරගාවලි තුන විය හැකි බවත් ඔටෝ ස්පෝට් සංගමයේ නියෝජිත මහතා සඳහන් කර සිටියේය.

මේ දක්වා පැවැති නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිවලදී වැඩිම වාර ගණනක් දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස ශූරතා දිනා ඇත්තේ අරවින්ද ප්‍රේමදාසයි. ඔහු අවස්ථා 10 කදී එම ශූරතාවට හිමිකම් කියා ඇත. 2004 වසරේ සිට 2010 වසර දක්වා නොකඩවා 7 වරක් එම ශූරතාව තමන් සන්තකයේ තබා ගැනීමටද අරවින්ද සමත් වී ඇත. ඔහුට අමතරව අශාන් සිල්වා අවස්ථා 4 කදීද, පසිඳු පීරිස් අවස්ථා 3 කදීද නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත්ව ඇත.

ආනන්ද වෙඩිසිංහ සහ ගයාන් සඳරුවන් අවස්ථා 6 කදී බැගින් නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වෙමින් වැඩිම වාර ගණනක් එම ශූරතාවට හිමිකම් කියූ යතුරුපැදිකරුවන් ලෙස සම වාර්තාවකට හිමිකම් කියති. වෙඩිසිංහ 1994 වසරේ සිට 1999 වසර දක්වා පිට පිට වසර 6 ක්ද, ගයාන් 2004, 2006, 2007, 2008, 2009 සහ 2012 යන වසර වලදීද එම ශූරතාවට හිමිකම් කියා ඇත.

ආනන්ද වෙඩිසිංහ වසර කිහිපයකට ඉහතදී (2017 දී) නුවරඑළිය මාර්ග ධාවනයේදී අනතුරකට මුහුණ දීමෙන් මියගියේය.


අදහස් (0)

නරියාකන්ද සුපර් ක්‍රොස් අවලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.