Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නඩාල්ගේ බලාපොරොත්තු ජොකොවික් සුන්කරයි

නඩාල්ගේ බලාපොරොත්තු ජොකොවික් සුන්කරයි

editorial - 2021 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙන්ම 14 වැනි ප්‍රංශ විවෘත ශූරතාවද හඹාගිය ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ බලාපොරොත්තු සුන්කර දැමීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් විය. ඒ මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ ඊයේ (11 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී නඩාල්ට එරෙහිව වට 3-1 ක ජයක් වාර්තා කරමිනි.

පැරිස් නුවර රෝලන්ඩ් ගැරෝස් ක්‍රීඩාගංණයේදී පැවැති එම තරගය, ‍සිය ක්‍රීඩා දිවිය තුළ මෙතෙක් තමා සහභාගි වූ හොඳම තරග 3 අතරට එක්වන බවද ජෙ‍ාකොවික් ජයග්‍රහණයෙන් පසුව පැවසීය. තරගයේ පළමු වටයේදී ලකුණු 6-3 ක් ලෙස නඩාල් හමුවේ පරාජයට පත්වුවද, ඉන් පසුව පැවැති වට 3 දී ලකුණු 6-3 ක්, 7-6 ක් සහ 6-2 ක් ලෙස ජය වාර්තා කිරීමට ජොකොවික් සමත් විය.

ඒ අනුව හෙට (13 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ග්‍රීසියේ ස්ටෙෆනොස් සිට්සිපාස්ට එරෙහිව තරග බිමට පිවිසීමට ජෙ‍ාකොවික් සුදානමින් සිටියි. අවසන් පූර්ව තරගයකදී ඉතා තියුණු සටනකින් අනතුරුව වට 3-2 ක් ලෙස (6/3, 6/3, 4/6, 4/6, 6/3) ජර්මනියේ ඇලෙක්සැන්ඩර් සර්වරව් පරාජය කරමින් සිට්සිපාස් අවසන් මහ තරගයේ ඉඩක් වෙන්කර ගත්තේ ජොකොවික්ටත් පෙරාතුවය.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවන 22 හැවිරිදි සිට්සිපාස්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියට අවසන් මහ තරගයට පිවිසි පළමු අවස්ථාවද මෙය විය. මින් පෙර 2019 වසරේදී සහ මෙම වසරේදී (2021) ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඇති සිට්සිපාස්, එම අවස්ථා දෙකේදී පිළිවෙලින් රෆායල් නඩාල් හමුවේ සහ රුසියාවේ ඩැනීල් මැඩ්වඩෙව් හමුවේ පරාජයට පත්වී ඇත.   

මෙවර ප්‍රංශ විවෘත තරගාවලියේ පළමු වටයේ සිට අර්ධ අවසන් පූර්ව වටය දක්වාම සිය ප්‍රතිවාදීන් හමුවේ එක් තරග වටයක් හෝ පරාජයට වී නොසිටි නඩාල්ට අවසන් පූර්ව වටයේදී ජොකොවික් හමුවේ ලද පරාජයත් සමග තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එපමණක් නොව ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් (පිරිමි) ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කීමේ තනි අයිතිය තමන් සතු කරගැනීම සඳහා තිබූ තවත් අවස්ථාවක්ද ඔහු අතින් ගිළිහී ගියේය.

මේ දක්වා සිය ක්‍රීඩා දිවිය තුළ රෝලන් ගැරෝස් ක්‍රීඩාංගණයේදී තරග 108 කට සහභාගි වී ඇති නඩාල් එහිදී පරාජයට පත් වූ තෙවැනි අවස්ථාවද මෙය විය. මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන නඩාල් ඉකුත් මාසයේදී පැවැති ඉතාලි විවෘත තරගාවලියේ අවසන් මහ තරගයේදී ජොකොවික් පරාජය කිරීමට සමත් වුවද, මෙම තරගාවලියේදී ඔහුට බලාපොරොත්තු නොවූ අයුරින් ජෙ‍ාකො‍වික් හමුවේ පසුබැසීමට සිදු විය.

මේ වන විට 35 වැනි වියේ පසුවන ජොකොවික් ප්‍රංශ විවෘත තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 6 වැනි අවස්ථාව මෙය විය. මින් පෙර ඔහු සහභාගි වී ඇති අවසන් මහ තරග 5 න් එක් අවස්ථාවකදී (2016) එංගලන්ත ක්‍රීඩක ඇන්ඩි මරේ පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට ඔහු සමත්ව ඇත‍. සෙසු අවසන් මහ තරග 4 න් 3 කදීම (2012, 2014, 2020) නඩාල් හමුවේ පරාජයට පත්ව ඇති ජොකොවික්, එක් අවස්ථාවකදී (2015) ස්විට්සර්ලන්තයේ ස්ටෑන් වැරින්කි හමුවේද පරාජයට පත්ව ඇත.

ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 5 ක්, ඇමරිකානු ශූරතා 3 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් සමග මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 18 ක් දිනා ඇති ජෙ‍ාකොවික් මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 බැගින් දිනා සිටින නඩාල්ට සහ ස්විට්සර්ලන්තයේ රො‍ජ‍ර් ෆෙඩරර්ට වඩා තවත් ශූරතා 2 ක් පසුපසින් සිටියි.

එබැවින් මෙම තරගාවලියේ ශූරතාවද තමන් සතුකර ගැනීමට ‍ඔහු සමත් වුවහොත් මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිත විම්බල්ඩන් ශූරතාවලියේදී ඔවුන් තිදෙනා අතර ඉතා තියුණු සටනක් බලාපොරොත්තු විය හැකිය. මෙම තරගාවලියේදී ලද පරාජයේ වාඩුව ගැනීම සඳහා නඩාල්ට එළබෙන විම්බල්ඩන් ශූරතාවලිය අවස්ථාවක් කරගත හැකි අතර එම තරගාවලියට සූදානම් වීම සඳහා ප්‍රංශ විවෘත තරගාවලියේ සිවුවැනි වටයෙන් ඉවත් වූ ෆෙඩරර්ගෙන් ඔවුන්ට එල්ලවන අභියෝගයද ‍සුලු පටු නොවනු ඇත.‍


-036


අදහස් (0)

නඩාල්ගේ බලාපොරොත්තු ජොකොවික් සුන්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.