Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිශාන්ත දෙවැනි අදියර ජයගනී

නිශාන්ත දෙවැනි අදියර ජයගනී

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘එස්. එල්. ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරියේ අද (28) පැවැති දෙවැනි අදියර ජය ගැනීමට නිශාන්ත පෙරේරා සමත්විය. දෙහිවල ගල්කිස්ස නගර සභා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදුණු නිශාන්ත, මෙරට ප්‍රධාන පෙළේ පාපැදි තරගයක ජය වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.


දෙවුන්දර සිට ඇඹිලිපිටිය හරහා රත්නපුරය නව නගරය දක්වා අද පැවැති දෙවැනි අදියර තරගය කිලෝමීටර 150 කින් සමන්විත විය. දෙවැනි අදියර තරගයේ විශේෂ සිදුවීම වන්නේ එහිදී පළපුරුදු තරගකරුවන්ගේ පසුබෑමය.


එම තත්ත්වය ටෙලිකොම් පාපැදි සවාරියේ අදියර දෙකක තරග නිමාවේ සමස්ත ප්‍රතිඵල උඩුයටිකුරු කිරීමක් වු බව ප්‍රධාන විනිසුරු උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවසීය.


දෙවැනි අදියර තරගයේ මාර්ගයද වැඩි කොටසක් තැනිතලා සහිත වු අතර එහිදී තරගකරුවන්ගේ වේගය පැයට කිලෝමීටර 40 කට ආසන්න අගයක් ගත්තේය. ජයග්‍රාහී නිශාන්ත පෙරේරා පැය 3. විනාඩි 34. තත්පර 39 කදී කිලෝමීටර 150 ක දුර ගෙවා අවසන් කළේ තරගකරුවන් හත් දෙනකු හා එකවර තරග නිමාවට ළඟාවෙමිනි.


දෙවැනි අදියරේදී පළපුරුදු ධාවකයන්ගේ පසුබැසීමත් සමඟ යුද හමුදා ක්‍රීඩක චරිත් ප්‍රනාන්දු දින දෙකක් අවසානයේ සමස්ත තරග ප්‍රතිඵල වලට අනුව පෙරමුණට පැමිණ සිටියේය. ඒ අනුව සමස්ත තරගයේ නිමි කාලයට අනුව ඉදිරියෙන්ම පසුවන ඔහු හෙට (29) තෙවැනි අදියර තරගයේදී නිල්පාට බැනියම ඇඳ පාපැදිය පැදයයි.


අද තරගයේ කිලෝමීටර 90 ක් පමණ ගෙවෙන තුරු විශේෂ සිදුවීමක් වාර්තා නොවු අතර එයින් පසු පළමුවරට තරගකරුවන්ගේ බෙදීම ආරම්භ විය.


එයින් පසුව තරගකරුවන් 16 දෙනකුගේ පොකුරක් පෙරමුණ බලා ගමන්කරන අතර දෙවැනි පොකුරේ තවත් තරගකරුවන් 17 දෙනකු ගමන් ගත්හ. සෙසු තරගකරුවෝ එකම පොකුරකට පසුපසින් පැමිණ තරගය අවසන් කළේය.


ඒ අනුව දෙවැනි අදියර තරගයට එක්වු තරගකරුවන් 121 දෙනකු අතරින් තරගය නිම කළ 107 දෙනෙක් හෙට තෙවැනි අදියර තරගයට සුදුසුකම් ලබාගත්හ.


ඊයේ (27) පැවැති මෙම පාපැදි සවාරියේ පළමු අදියර තරගය ජයගත් නවීන් රුචිරට අද දෙවැනි අදියර තරගයේදී හිමිවුයේ 27 වැනි ස්ථානයයි. සමස්ත තරගයේ පෙරමුණට පැමිණ සිටින චරිත් ප්‍රනාන්දු අද දෙවැනි අදියරේදී සිවුවැනි ස්ථානය ලැබීය.


මේ අතර දකුණු ආසියාවේ වේගවත්ම පාපැදි තරගකරු වෙමින් ඇසෑම් සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩක ජීවන් ජයසිංහගේ ඉදිරියට පැමිණීම අද දෙවැනි අදියර තරගයේදී සටහන්විය.


දෙවැනි අදියරේදී කඳු තරණය කිරීමේ ශූරයා ලෙස කිවිසුරු කරුණාරත්න නම් කෙරිණි. හෙට තෙවැනි අදියර තරගය සමස්ත ප්‍රතිඵලය තීරණාත්මක බලපෑමක් කෙරෙන බව උපුල්චන්දන මහතා පවසයි.


ටෙලිකොම් පාපැදි සවාරියේ අදියර දෙකක තරග නිමාවේ පළමුවතාවට කඳු තරණය කිරීමේ වෙහෙසකර ධාවනයකට මුහුණ දීමට හෙට තරගයේදී තරගකරුවන්ට සිදුවේ. හෙට තරගයේ රඳවා ගන්නා වේගය සමස්ත තරගයේ ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කෙරෙනු ඇත.


මේ වන විට සමස්ත තරගයේ පළමු ස්ථානය සහ තෙවැනි ස්ථානය අතර පවතින්නේ තත්පර දෙකක වෙනසක් පමණි.


ටෙලිකොම් පාපැදි සවාරියේ හෙට පැවැත්වෙන තෙවැනි අදියර තරගයේ ගමන් මග (කිලෝමීටර 127) කි.

රත්නපුරය නව නගරය, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, තල්දුව, කරවනැල්ල, ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය, ගැටඹේ හරහා මහනුවර දළදා වීදිය දක්වා තුන්වැනි අදියර පැවැත්වේ.

 

දෙවැනි අදියරේ තරග ප්‍රතිඵල

(දෙවුන්දර සිට රත්නපුරය නව නගරය දක්වා කිලෝමීටර 150)

1. නිශාන්ත පෙරේරා (දෙහිවල - ගල්කිස්ස, පැය 3 විනාඩි 44 තත්පර 39)
2. චාමර සඳුන් කුමාර (වරාය, 3.44.41)
3. රුවන් නාමරත්න (ගුවන්, 3.44.41)
4. චරිත් ප්‍රනාන්දු (යුද හමුදා, 3.44.43)
5. කිවිසුරු කරුණාරත්න (යුද හමුදා, 3.44.43)
6. ජීවන් ජයසිංහ (ගුවන්, 3.44.43)
7. දර්ශන ප්‍රසාද් (නාවික හමුදා,  3.44.43)
8. කස්සප සිරිවර්ධන (වරාය,  3.44.50)
9. සුසන්ත රංජිත් සිල්වා (වරාය, 3.44.50)
10. කසුන් නිමේෂ් (වරාය, 3.44.56)


දෙවැනි අදියර තරග නිමාවෙන් පසු  සමස්ත තරගයේ තරග ප්‍රතිඵල:

1. චරිත් ප්‍රනාන්දු (යුද හමුදා, පැය 7.විනාඩි 13.තත් 16)
2. ජීවන් ජයසිංහ (ගුවන් හමුදා, 7.13.16)
3. දර්ශන ප්‍රනාන්දු (නාවික හමුදා, 7.13.19)
4. කස්සප සිරිවර්ධන (වරාය, 7.13.29)
5. සුසන්න රංජිත් සිල්වා (වරාය, 7.13.30)
6. කසුන් නිමේෂ් (වරාය, 7.13.26)
7. දිනේශ් ධනුෂ්ක (ගුවන් හමුදා, 7.13.41)
8. නලින්ද අමිල කුමාර (නාවික හමුදා, 7.13.48)
9. අවිශ්ක මැඩොන්සා (නාවික හමුදා, 7.13.51)
10. ජනක හේමන්ත කුමාර (නාවික හමුදා, 7.13.54).


අදහස් (0)

නිශාන්ත දෙවැනි අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.