Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දුෂාන්ගේ පන්දු යැවීමෙන් මැලිබන් පිල අවසන් සටනට

දුෂාන්ගේ පන්දු යැවීමෙන් මැලිබන් පිල අවසන් සටනට

editorial - 2025 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 32 වැනි සිංගර් කුසලාන වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායම සමත් විය. ඒ ෆෙයාර් ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමිනි. 

ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ දුෂාන් හේමන්ත ඕවර 8.4 ක් යවා ලකුණු 29 කට කඩුලු 8 ක් බිඳහෙළමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ෆෙයාර් ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් කණ්ඩායම ලකුණු 130 කට සීමා කිරීමට පෙරමුණ ගත්තේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් මිලාන් රත්නායක සහ සහන් ආරච්චිගේ සෙසු කඩුලු 2 බෙදාගත්හ. 

ෆෙයාර් ෆර්ස්ට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් තනුක දාබරේ (38) පළමු කඩුල්ල වෙනුවෙන් ගවිරු සෙන්හස් (22) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක්ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් සොහාන් ද ලිවේරා (30) සමග එක්ව පන්දු 55 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. 

කෙසේ වුවත් ෆෙයාර් ෆර්ස්ට් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 88 ක් ලබා සිටියදී පන්දුව අතට ගත් දුෂාන් හේමන්ත, තමා යැවූ පළමු ඕවරයේදීම තනුක දාබරේව දවාගනිමින් සිය කඩුලු දඩයම ආරම්භ කළේය. තමාගේ දෙවැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී තවත් කඩුලු 2 ක් බිඳහෙළු දුෂාන්, එතැන් පටන් ලකුණු 34 ක් ඇතුළත ෆෙයාර් ෆර්ස්ට් ඉනිම නිමාවෙද්දී සිය කඩුලු මල්ල කඩුලු 8 ක් දක්වා ඉහළ දමාගත්තේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය මැලිබන් බිස්කට් ‘ඒ’ කණ්ඩායම ඕවර 24.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකරුවන් වූ හිරාන් ජයසුන්දර (නොදැවී 57) සහ සංගීත් කුරේ (57) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 118 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
 
එහිදී පන්දු 76 කට මුහුණදුන් හිරාන් හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 50 කදී වාර්තා වූ සංගීත්ගේ අර්ධ ශතකයද හතරේ පහර 7 කින් සමන්විත විය. 

සංගීත්ගේ කඩුල්ල බිඳවැටීමෙන් අනතුරුවද එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් හිරාන්, ගවිරු සෙන්හස්ගේ පන්දුවක් හමුවේ එල්ල කළ හතරේ පහරකින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 


ෆෙයාර් ෆර්ස්ට් ඉන්ෂුවරන්ස් පිල - ඕවර 32.4 සියලු දෙනා දැවී 130 
(තනුක දාබරේ 38, ගවිරු සෙන්හස් 22, සොහාන් ද ලිවේරා 30, දුෂාන් හේමන්ත 29/8) 

මැලිබන් බිස්කට් ‘ඒ’ පිල - ඕවර 24.3 කදී කඩුලු 2 ක් දැවී 134 
(හිරාන් ජයසුන්දර නොදැවී 57, සංගීත් කුරේ 57, ඉම්තියාස් සලසා 38/2) 


අදහස් (0)

දුෂාන්ගේ පන්දු යැවීමෙන් මැලිබන් පිල අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.