
(දමින්ද විජේසූරිය)
පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතභාවය නැවත වරක් මොනවට පසක් කරමින්, දඹුල්ල ක්‍රීඩකයෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එන්.එස්.එල්. පළමු පෙළ තරගාවලියේ අවසන් මහ තරගය ලකුණු 119 කින් ජයගත්හ. ලකුණු 299 ක ඉලක්කයක් කරා යමින් සිටි කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 179 කට දැවී ගියහ.
කොළඹ කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය අවසන් වීමට ඔන්න මෙන්න කියා සිටියදී කඩුලු 3 කට ලකුණු 154 ක් ලබා සිටියහ. ඉලක්කය පසුකර යාම සඳහා තවත් ලකුණු 145 ක් අවශ්‍යව තිබුණු අතර ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනකු වන ධනංජය ලක්ෂාන් (නොදැවී 84) සහ චරිත් අසලංක (නොදැවී 29) නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ඒ වන විටත් ධනංජය ලක්ෂාන් සහ නුවනිඳු ප්‍රනාන්දු අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් පැවැති අතර ලක්ෂාන් සහ නායක චරිත් අසලංක අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් පැවතිණ. පන්දුව හොඳින් දකිමින් සිටි ධනංජය ලක්ෂාන්, මුහුණ දුන් පන්දු 105 න් 12 ක් හතරේ සීමාවෙන් එපිටට යවා, කල් යල් බලමින් සිටියේ තමන්ගේ හයවැනි පළමු පෙළ ශතකය ලබාගැනීමේ අටියෙනි.
කිසිවකු බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී පන්දුව අතට ගත් දඹුල්ල නායක ධනංජය ද සිල්වා යැවූ එකම ඕවරයේදී ධනංජය ලක්ෂාන් දැවී යාමත් සමගින් තරගය නතර කරන ලදි.
ඉතිරි ලකුණු 145 ලබාගැනීමට සම්පූර්ණ දිනයක් සහ කඩුලු 6 ක් අතැතිව තිබුණ නමුත් අද පෙරවරුවෙදී චරිත් අසලංක දැවී යාමත් සමගින් ලකුණු 25 ක් ඇතුළත ඉතිරි කඩුලු 6 ම දවාගත් දඹුල්ල ක්‍රීඩකයෝ කොළඹ ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම ලකුණු 179 දී නතර කළහ.
කවිජ ගමගේ දුවද්දී දැවී ගිය අතර අවසන් දිනයේ බිඳවැටුණු කඩුලු 6 න් 5 ක් වේග පන්දු යවන්නන් වන මොහොමඩ් ෂිරාස් සහ නිසල අබේරත්න බෙදාහදා ගත්හ.
දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් ලෙසින් නම්දරා තිබෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම අවසන් මහ තරගයේදී බිඳ වැටුණු කඩුලු 39 න් කඩුලු 25 ක්ම වේග පන්දු යවන්නන් විසින් බිම දමනු ලැබූහ.
දඹුල්ල - පළමු ඉනිම කඩුලු 9 ට 222 යි
(ලසිත් කෲස්පුල්ලේ 16, පවන් රත්නායක 39, ධනංජය ද සිල්වා 15, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40, ධනංජය ලක්ෂාන් 42/2, ජනිත් ලියනගේ 18/2, ප්‍රභාත් ජයසූරිය 54/4)
කොළඹ - පළමු ඉනිම 146 යි
(ප්‍රභාත් ජයසූරිය 19, ශාරුජන් ශන්මුගනාදන් 44, චරිත් අසලංක 27, කවිජ ගමගේ 25, දුෂාන් හේමන්ත 14, කවිඳු පතිරත්න 51/5, අකිල ධනංජය 17/3)
දඹුල්ල - දෙවැනි ඉනිම 222 යි
(නිශාන් මධුෂ්ක 43, විශාද් රන්දික 21, ලසිත් කෲස්පුල්ලේ 14, සොනාල් දිනූෂ 12, අංජල බණ්ඩාර 32, කවිඳු පතිරත්න 17, අකිල ධනංජය නොදැවී 53, ප්‍රමෝද් මධුෂාන් 48/2, චමෝද් බැට්ටගේ 55/4, ප්‍රභාත් ජයසූරිය 16/3)
කොළඹ - දෙවැනි ඉනිම 179 යි
(ධනංජය ලක්ෂාන් 84, නුවනිඳු ප්‍රනාන්දු 23, චරිත් අසලංක 35, මොහොමඩ් ෂිරාස් 38/4, නිසල අබේරත්න 23/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.