Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාව ලකුණු 353 ක් පසුපසින්
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකාව ලකුණු 353 ක් පසුපසින්

editorial - 2022 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (18 වැනිදා) අවසන් වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියහ.

ඒ අනුව ඔවුහු තවත් කඩුලු 7 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 353 ක් පසුපසින් සිටිති. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට රාසි වැන්ඩර් ඩසන් නොදැවී ලකුණු 9 ක්ද, ටෙම්බා බවුමා නොදැවී ලකුණු 22 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 4 ක් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනා පිටියෙන් ඉවත් කිරීමට ටිම් සවුති සහ මැට් හෙන්රි සමත් වූහ. එහිදී ආරම්භක පිතිකරුවන් වූ සරෙල් එර්වී සහ නායක ඩීන් එල්ගා ලකුණු නොලබා දැවී ගිය අතර ඒඩ්න් මාක්‍රම්ට ලබාගත හැකි වූයේද ලකුණු 2 ක් පමණි.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482 ක් ලබාගත් අතර එහිදී සිය 8 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට හෙන්රි නිකෝල්ස් (105) සමත් විය. ඩූවෑන් ඔලිවර්ගේ පන්දුවක් හමුවේ ඒඩ්න් මාක්‍රම් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට නිකෝල්ස්ගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් වී තිබිණ.

ඩෙවෝන් කොන්වේ (36) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නිකෝල්ස්, ඉන් නොනැවතී නීල් වැග්නර් (49) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු රැස්කළ වැග්නර්, අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ වැන්ඩර් ඩසන් අතට උඩ පන්දුවක් දෙමිනි.

එහිදී ටොම් බ්ලන්ඩල් හතරේ පහර 12 ක් සමග ලකුණු 96 ක්ද, කොලින් ඩි’ ග්‍රෑන්ඩ්හෝම් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක්ද, මැට් හෙන්රි හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 58 ක්ද රැස්කරමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ග්‍රෑන්ඩ්හෝම් සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 76 ක් එක්කළ බ්ලන්ඩල්, මැට් හෙන්රි සමග එක්ව අවසන් කඩුල්ල සඳහා ලකුණු 94 ක් එක් කළේය.


දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 95
(ඒඩ්න් මාක්‍රම් 15, සුබේර් හම්සා 25, කයිල් වැරියන් 18, මැට් හෙන්රි 23/7)

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 482
(ටොම් ලේතම් 15, ඩෙවෝන් කොන්වේ 36, හෙන්රි නිකෝල්ස් 105, නීග් වැග්නර් 49, ඩර්ලි මිචෙල් 16, ටොම් බ්ලන්ඩල් 96, කොලින් ඩි’ ග්‍රෑන්ඩ්හෝම් 45, කයිල් ජැමිසන් 15, මැට් හෙන්රි නොදැවී 58, ඩුවෑන් ඔලිවර් 100/3, ඒන්ඩ් මාක්‍රම් 27/2, මාර්කෝ ජැන්සන් 96/2, කගිසෝ රබාඩා 113/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 34
(ටෙම්බා බවුමා නොදැවී 22, ටිම් සවුති 20/2)


-036


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලකුණු 353 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.