Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මිචෙල් ස්ටාක් (නොදැවී 58) සහ ජොස් හේසල්වුඩ් (17) දෙදෙනා අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 59 ක සම්බන්ධතාව නිසා සිය දෙවැනි ඉනිමේදී ලකුණු 207 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 282 ක් ලබාගන්නා ලෙසින් දකුණු අප්‍රිකානුවන්ට අභියෝග කළහ.
අභියෝගය නොපැකිළව බාරගත් දකුණු අප්‍රිකානුවෝ, ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේ තුන්වැනි දිනය වන අද (13 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 213 ක් ලබා සිටියහ. තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ඒඩ්න් මාක්රම් (නොදැවී 102) සහ නායක ටෙම්බා බවුමා (නොදැවී 65) එක්ව දකුණු අප්‍රිකාව මෙම ප්‍රබල ස්ථානය කරා කැඳවාගෙන ගියහ.
තරගය ජයගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවත් ලකුණු 69 ක් අවශ්‍ය වන අතර ඒ සඳහා කාලය මෙන්ම කඩුලු ද ඕනෑතරම් ඉතිරිව තිබේ.
මානස් ලැබුෂේන්ගේ තවත් විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ වියාන් මල්ඩර් ලකුණු 27 කට දැවී ගිය නමුත් ඒඩ්න් මාක්රම් ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවෝ සැලසුම් සහගත ගමනක යෙදී සිටිති.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 207 කට දැවී ගියේය. මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 74 ක වාසියත් සමගින් ලකුණු 281 ක් ඉදිරියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කළ හැකි වුවහොත්, වසර 27 කට පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලියක් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවනු ඇත.
දකුණු අප්‍රිකානුවන් විසින් මෙතෙක් ජයගත් එකම අන්තර්ජාතික ක්‍රිකට් සභා කුසලානය වන්නේ 1998 දී බංග්ලාදේශයේ පැවැති විල්ස් එක්දින ශූරතාවලියයි. පසුව ශූරයන්ගේ කුසලාන තරගාවලිය ලෙසින් නම් කෙරුණේද 1998 දී ආරම්භ වූ පිළිමළුන් පිටුදැකීමේ එක්දින තරගාවලියයි.
හරියටම දිවා ආහාරය සඳහා තරගය නතර කළ යුතු 12.30 ට ඕස්ටේ්‍රලියානුවන්ගේ 9 වැනි කඩුල්ලත් බිඳ වැටිණ. නේතන් ලයන් දැවී යන විටත් ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ කඩුලු 9 කට ලකුණු 148 ක් ලෙසිනි. ඕස්ටේ්‍රලියානුවෝ ලකුණු 222 ක් ඉදිරියෙන් සිටි නමුත් ඊයේ සවස ඕස්ටේ්‍රලියානු නායක පැට් කමින්ස් කියා සිටියේ තරගය ජයගැනීමට නම් ලකුණු 250 ක් ඉක්මවූ වාසියක් තිබිය යුතු බවයි. කෙසේ වෙතත් කඩුලු 9 ක් බිඳ වැටී තිබුණු බැවින් අවසන් කඩුල්ල දවාගැනීම සඳහා දකුණු අප්‍රිකානුවන්ට අතිරේක විනාඩි 30 ක් ලැබිණ.
එම විනාඩි 30 දී සිය ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම (ලකුණු සංඛ්‍යාව අනුව නොවේ) ක්‍රීඩා කළ මිචෙල් ස්ටාක් සහ ජොෂ් හේසල්වුඩ් දෙදෙනා එක්ව ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ලකුණු 207 ක් දක්වා කැඳවාගෙන ගියහ. ස්ටාක්ගේ ටෙස්ට් ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව ඉන්දියාවට එරෙහිව ලබාගත් 99 කි. ස්ටාක් ටෙස්ට් තරග වලදී අර්ධ ශතක 11 ක් ලබා තිබේ. එහෙත් අද තරගයේදී ස්ටාක් ලබාගත් ලකුණු 58 ශතකයකටත් වඩා වටිනාකමින් ඉහළය. මක්නිසාද යත් මේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය වන බැවිනි.
ජොෂ් හේසල්වුඩ් වුවද, හුදෙක් වේග පන්දු යවන්නකු පමණක් නොව, අවශ්‍ය අවස්ථාවකදී තම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමටත් දන්නා ක්‍රීඩකයකු බවත් මනාව පෙන්වීය. හේසල්වුඩ් පැය එක හමාරකට වැඩි කාලයක් තිස්සේ අපහසුවකින් තොරව පන්දුවට පහර දුන්නේය.
දෙවැනි ඉනිමේදී ලකුණු 73 කට කඩුලු 7 ක් අහිමි කරගත් තැන් පටන් මෙතෙක් ආ ගමන සම්බන්ධයෙන් ඇලෙක්ස් කේරි මෙන්ම ඕස්ටේ්‍රලියානු පසුපෙළ පිතිකරුවන්ටද ආඩම්බර විය හැකිය. විශේෂයෙන්ම කගීසෝ රබාඩා, ලුන්ගි න්ගිඩි, මාකෝ යැන්සන් සහ වියාන් මල්ඩර් වැනි පන්දු යවන්නන් හමුවේ ඔවුන් කළ පිතිහරඹය අති විශිෂ්ටය.
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ කගීසෝ රබාඩා (51/5 සහ 59/4) කීවේ මෙම තරගයේදී 10 වැනි කඩුල්ල මඟහැරී යාම කණගාටුවට කරුණත් වූවත් තරගය ජයගත හැකිනම් ඒ කණගාටුව මඟහැරී යනු ඇති බවයි.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 212 යි
(මානස් ලැබුෂේන් 17, ස්ටීවන් ස්මිත් 66, ට්‍රැවිස් හෙඩ් 11, බියු වෙබ්ස්ටර් 72, ඇලෙක්ස් කේරි 23, කගීසෝ රබාඩා 51/5, මාකෝ යැන්සන් 49/3)
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 138 යි
(රයාන් රික්ල්ටන් 16, ටෙම්බා බවුමා 36, ඩේවිඩ් බෙඩිංහැම් 45, කයිල් වර්රීන් 13, මිචෙල් ස්ටාක් 41/2, පැට් කමින්ස් 28/6)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම 207 යි
(මානස් ලැබුෂේන් 22, ස්ටීවන් ස්මිත් 13, ඇලෙක්ස් කේරි 43, මිචෙල් ස්ටාක් නොදැවී 58, ජොස් හේසල්වුඩ් 17, කගීසෝ රබාඩා 59/4, ලුන්ගි න්ගිඩි 38/3)
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 213 යි
(එඩ්න් මාක්රම් නොදැවී 102, වියාන් මල්ඩර් 27, ටෙම්බා බවුමා නොදැවී 65, මිචෙල් ස්ටාක් 53/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.