Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්වැල්ල - ධනංජය යළි කැඳවති
විස්සයි--20 ලෝක කුසලාන 2026

දක්වැල්ල - ධනංජය යළි කැඳවති

editorial - 2025 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලබන වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් නම්කරන ලද ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයට නිරෝෂන් දික්වැල්ල සහ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා කැඳවා තිබේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා සතු අත්දැකීම් සම්භාරයත්, ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන දීර්ඝ කාල සීමාවත් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමට කැඳවූ බව අද (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීහු පැවසූහ. 
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තේරීම් කමිටුවේ සභාපති ධූරයට පත්වීමෙන් පසුව පැවැත්වූ පළමු වැනි මාධ්‍ය හමුව මෙයයි. 

විස්සයි-20 තරග 45 කදී ලකුණු 847 ක් ලබාගෙන සිටින ධනංජය ද සිල්වා අවසන් වරට විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ මීට වසර එක හමාරකට ඉහතදීය. ඒ 2024 ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සමූහයට අයත් ශාන්ත ලුසියා දිවයිනේදී පැවැති ලෝක කුසලාන තරගයකදී, නෙදර්ලන්තය හමුවේ තරග කරමිනි. 

කඩුලු රකින්නකු මෙන්ම මනා හැකියාවකින් යුත් දක්‍ෂ පිතිකරුවකු වන නමුත් අමනෝඥ ක්‍රියාවන් නිසා බොහෝ අවස්ථාවන්හිදී තමන්ගේ ස්ථානය අහිමි කරගන්නා නිරෝෂන් දික්වැල්ල, විස්සයි-20 අන්තර්ජාතික තරග 28 කට සහභාගි වී ලකුණු 480 ක් ලබා සිටින්නෙකි. දික්වැල්ල අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ වසර හතර හමාරකට ඉහත (2021 එංගලන්ත සංචාරයේදී) එංගලන්තයට එරෙහිව සදම්ප්ටන් නුවරදී පැවැති තරගයකදීය. 

මෙම පිතිකරුවන් දෙදෙනාම මෑතකදී (විස්සයි-20 තරගවලදී) සුවිශේෂී යමක් කර නැතත්, ඔවුන් දෙදෙනාම සංචිතයට කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පිතිහරඹයේදී දක්වන දුර්වලතා හේතුවෙනි. විශේෂයෙන්ම විස්සයි-20 සහ එක්දින තරග වලදී ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දෙන නිළකුණු පන්දු සංඛ්‍යාව අඩුකරගැනීම කණ්ඩායමේ ප්‍රධාන අපේක්‍ෂාවකි. 

පාකිස්තානයේදී පැවැති තුන්කොන් තරගාවලියේ තරග 5 කදී ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් නිළකුණු පන්දු සංඛ්‍යාවන් සටහන් වූයේ 66, 48, 34, 36 සහ 55 ක් ලෙසිනි. මෙම තරග 5 න් නිළකුණු පන්දු සංඛ්‍යාව 40 ට අඩුවූ තරග දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර නිළකුණු පන්දු සංඛ්‍යාව 40 කට වැඩිවූ තරග තුනම පරාජයට පත්විය. 

ක්‍රීඩකයන් 25 දෙනාගෙන් සමන්විත සංචිතයට ඉදිරිපෙළ පිතිකරුවෝ 12 දෙනකු ඇතුළත් වන අතර ඊට රකින්නෝ සිව් දෙනාද ඇතුළත් වෙති. සංචිතයට ඇතුළත් වේග පන්දු යවන්නෝ 9 දෙනෙකි. ඔවුන් අතුරින් දසුන් ශානක, ජනිත් ලියනගේ සහ මිලාන් රත්නායක තිදෙනාගේම පිත්තෙන් සාධාරණ දායකත්වයක් ද තේරීම් කමිටුව අපේක්‍ෂා කරයි. පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට ඇතුළත්ව සිටින නමුත් දඟ පන්දු යැවීමේ හැකියාවෙන් යුත් චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේත් ඇතුළුව සංචිතයේ සිටින දඟ පන්දු යවන්නෝ 9 දෙනෙකි. 

කෙසේ වෙතත් දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් භානුක රාජපක්‍ෂට සිය ස්ථානය අහිමි වී තිබේ. 


මූලික ශ්‍රී ලංකා සංචිතය : 
දසුන් ශානක (නායකයා), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්. කමිල් මිෂාර, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, එෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක, මහීෂ් තීක්‍ෂණ, දුෂාන් හේමන්ත, විජයකාන්ත් වියස්කාන්ත් සහ ටේ‍රවින් මැතිව්ස්

 


අදහස් (0)

දක්වැල්ල - ධනංජය යළි කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.