
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කොටස යටතේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 76 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම පරාජය හේතුවෙන් ඉන්දියාව පළමු කොටසේ අවසන් ස්ථානය දක්වා ඇද වැටිණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට මාකෝ ජැන්සන් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111 ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ ජැන්සන් ඕවර 3.5 ක් යවමින් ලකුණු 22 කට කඩුලු 4 ක් දවාගත් අතර කේෂව් මහරාජ් ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ ශිවම් ඩූබේ පන්දු 37 කින් ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. නායක සූර්යකුමාර් යාදව් පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 17 කදී හයේ පහරක් සමග ලකුණු 18 ක්ද ලබා සිටියදී දැවී ගියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේ කඩුලු 7 ක දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග පන්දු 35 කින් ලකුණු 63 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය. ඩෙවෝල්ඩ් බ්‍රේවිස් (45) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 97 ක් එක්කිරීමටද මිලර් සමත් විය.
පන්දු 29 කට මුහුණදුන් බ්‍රේවිස් හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර ශිවම් ඩූබේගේ පන්දුවක් හමුවේ අභිෂේක් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ඔහු දැවී ගියේය. අවසන් ඕවර කිහිපයේදී ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමූ ටි්‍රස්ටන් ස්ටබ්ස් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළේය.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 187
(ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 45, ඩේවිඩ් මිලර් 63, ටි්‍රස්ටන් ස්ටබ්ස් නොදැවී 44, ජස්ප්‍රීට් බුම්රා 15/3, අර්ෂ්දීප් සිං 28/3)
ඉන්දියාව - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 111
(අභිෂේක් ශර්මා 15, සූර්යකුමාර් යාදව් 18, ශිවම් ඩූබේ 42, හර්දීක් පාණ්ඩ්‍යා 18, මාකෝ ජැන්සන් 22/4, කේෂව් මහරාජ් 24/3, කෝබින් බොස්ච් 12/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.