Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තෙවැනි වරටත් ෆෝමියුලා-1 ලෝක ශූරයා වර්ස්ටපන්

තෙවැනි වරටත් ෆෝමියුලා-1 ලෝක ශූරයා වර්ස්ටපන්

editorial - 2023 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ (2023) ෆෝමියුලා-1 තරග මාලාවේ ශූරයා බවට පත්වෙමින් පිට පිටම තෙවැනි වරටත් ෆෝමියුලා-1 ලෝක ශූරයා ලෙස සම්මාන දිනාගැනීමට නෙදර්ලන්ත ජාතික මැක්ස් වර්ස්ටපන් සමත් විය. රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙවර ශූරතාවට හිමිකම් කීවේ මෙම වසර තුළ පැවැති ගෝන් ප්‍රී තරග තරග 23 න් 19 කම ජය තමන් සතුකර ගනිමිනි. 

පළමු වරට 2021 වසරේදී ෆෝමියුලා-1 ලෝක ශූරතාව දිනාගත් වර්ස්ටපන්, ඒ වන විට 24 වැනි වියේ පසුවූ අතර ඔහු එම ශූරතාවට හිමිකම් කීවේ ජයග්‍රණ 10 ක් සමගිනි. ඉන් අනතුරුව 2022 වසරේදී ජයග්‍රහණ 15 කට හිමිකම් කී වර්ස්ටපන්, දෙවැනි ලෝක ශූරතාවට දිනාගනිද්දී 25 වැනි වියේ පසුවිය.  

ෆෝමියුලා-1 ලෝක ශූරතාවක් දිනාගත් ලාබාලම රියැදුරන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන වර්ස්ටපන්, එම ශූරතාවට හිමිකම් කී එකම නෙදර්ලන්ත ජාතිකයාද වේ. වැඩිම වාර සංඛ්‍යාවක් පිට පිටම ලෝක ශූරතාවට හිමිකම් කී ක්‍රීඩකයන් අතර වර්ස්ටපන් පසුවන්නේ තෙවැනි ස්ථානයේය. 

මෙවර තරගාවලියේ ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම්වලට අනුව දෙවැනි ස්ථානයේ පසුවන සර්ගියෝ පෙරේස්ට වඩා ලකුණු 290 ක දැවැන්ත පරතරයක් රඳවාගනිමින් වර්ස්ටපන් මෙවර ශූරතාව දිනාගත් අතර එහිදී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 575 කි. වර්ස්ටනපන්ගේ රෙඞ්බුල් කණ්ඩායමේ සෙසු සාමාජිකයා වන පෙරේස් ලකුණු 285 ක් සමගින් මෙවර තරග මාලාවේ අනු ශූරතාවට හිමිකම් කීවේය. 

ලෝක ශූරතා 7 ක් ජයගනිමින් ලොව වැඩිම ෆෝමියුලා-1 ලෝක ශූරතා ලාභියා ලෙස මයිකල් ශූමාකර් සමග සම මට්ටමේ සිටින එංගලන්ත ජාතික ලුවිස් හැමිල්ටන්ට මෙවර තරගා මාලාවේදී තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණ ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 234 ක් පමණි. 

මෙවර තරග මාලාවේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට වර්ස්ටපන් සහ පෙරේස් නියෝජනය කරන රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම සමත් වූයේ ලකුණු 860 ක් ලබාගනිමිනි. හැමිල්ටන් සහ ජෝජ් රසල් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 409 කට හිමිකම් කියමින් මෙවර කණ්ඩායම් අනු ශූරතාව හිමිකර ගත්තේය. ඒ අනුව රෙඞ්බුල් කණ්ඩායම මෙවර කණ්ඩායම් ශූරතාව දිනාගත්තේ ලකුණු 451 ක දැවැන්ත පරතරයක් රඳවාගනිමිනි. 

ලබන වසරේ (2024) ෆෝමියුලා-1 තරග මාලාව ගෝන් ප්‍රී තරග 24 කින් සමන්විත වන අතර මාර්තු මස 2 වැනිදා පැවැත්වෙන බහරේන් ගෝන් ප්‍රී තරගයෙන් ආරම්භ වන එම තරග මාලාව, දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට නියමිත අබුඩාබි ගෝන් ප්‍රී තරගයෙන් නිමාවට පත්වනු ඇත. 

-036 


අදහස් (0)

තෙවැනි වරටත් ෆෝමියුලා-1 ලෝක ශූරයා වර්ස්ටපන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.