Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටේලර් - කේන් නවසීලන්තය ඉදිරියට ගෙනෙති

ටේලර් - කේන් නවසීලන්තය ඉදිරියට ගෙනෙති

Dilrukshi - 2015 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

එංගලන්තය සහ නවසීලන්තය අතර සදම්ප්ටන්හි රෝස් බෝල් ක‍්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයේදී රොස් ටේලර් (110) සහ කේන් විලියම්සන් (118) දෙදෙනා ලබාගත් ශතක නිසා මෙම තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබීමට නවසීලන්තය ඊයේ (14 දා) සමත් විය. ඒ අනූව දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත ක‍්‍රීඩකයෝ සමත් වූහ.

පළමු වරට මෙම එක්දින තරගාවලියේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුව පන්දුවට පහරදීම තෝරා ගත්තේය. එහෙත් එංගලන්ත පිලේ අවසන් කඩුලූ හතර ලකුණු 14 ක් තුළ බිද වැටීම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම පන්දුවාර 45.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 302 කට සීමා විය.

තරගාවලියේ පෙරමුණ ගැනීම වෙනුවෙන් දෙපිලටම වැදගත් වූ මෙම තරගයේදී නවසීලන්ත පළමු කඩුලූ දෙක ලකුණු 36 කදී බිද වැටුණද කේන් විලියම්සන් සහ රෝස් ටේලර් ශතක වාර්තා කරමින් නවසීලන්ත ජයග‍්‍රහණයේ වැඩි බර කර මත තබා ගැනීමට සමත් වූහ.

රොස් ටේලර් සහ කේන් විලියම්සන් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 189 කදී ලකුණු 206 ක සබඳතාවක් පිහිටුවීමට  සමත් වූහ. එය නවසීලන්ත ක‍්‍රිකට් ඉතිහාසයේ පිතිකරු යුගලක් එක්ව පිහිටවු වැඩිම ශතක සබඳතා අතර දෙවැනි තැනට පත්විය. රොස් ටේලර් සහ කේන් විලියම්සන් එක්දින තරගවලදී ශතකය ඉක්මවු සබඳතා අටක් පිහිටුවා තිබේ. එහි පළමු තැන පසුවන නේදන් ඇස්ට්ල් සහ ස්ටීවන් ෆ්ලෙමින් අවස්ථා නවයකදී ශතක සබඳතා පිහිටුවා තිබේ.

නවසීලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් පිට පිටම දෙවැනි වරටත් ශතකයක් ලබාගත් රොස් ටේලර් පන්දු 123 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 110 ක් ලබා සිටියකදි හය වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට නවසීලන්ත ජයග‍්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 13 ක් පමණි. එය ටේලර්ගේ 14 වැනි එක්දින ශතකය ලෙස සටහන් වේ.

ටේලර් සමග ද්විත්ව ශතක සබඳතාවක් පිිහිට වූ කේන් විලියම්සන් සිය හත්වැනි එක්දින ශතක වාර්තා කිරීමට සමත් විය. විලියම්සන් මිනිත්තු 159 ක් කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 113 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 118 ක් ලබා ගත්තේය. එම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා ලෙස විලියම්සන් නම් කෙරුණි.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ඔයින් මෝර්ගන් පන්දු 82 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 71 ක් ලබා සිටියදී විලියම්සන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදී පිටියෙන් ඉවත් වන විට එංගලන්ත ලකුණු පුවරුව 194 ක් ලෙසින් සටහන් විය.

අංක තුන පිතිකරු ජෝ රූට් නායක ඔයින් මෝර්ගන් සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 106 කදී ලකුණු 105 ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ. එහිදී නව වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ජෝ රූට් පන්දු 63 කදී හතරේ පහර හයක් සමග ලකුණු 54 ක් ලබා ගත්තේය.

එංගලන්ත පිලට මැද පෙළින් වේගවත් ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් බෙන් ස්ටෝක්ස් පන්දු 47 කදී හතරේ පහර හතක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 68 ක් ලබා ගත්තේය. එය ස්ටෝක්ස්ගේ දෙවැනි අර්ධ ශතක ලෙසින් වාර්තා වේ. නවසීලන්ත ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා වු ටිම් සවුති සහ බෙන් වීලර් කඩුලූ තුන බැගින් බිද දැමූහ.
දෙරට අතර පැවැත්වෙන සිව්වැනි සහ තීරණාත්මක එක්දින තරගය ලබන 17 වැනිදා දිවා රාත‍්‍රි තරගයක් වශයෙන් නොටින්හැම් හිදී පැවැත්වීමට නියමිතය. 

එංගලන්තය  ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 302 යි.

(ඇලෙක්ස් හේල්ස් 23, ජෝ රූට් 54, ඔයින් මෝර්ගන් 71, බෙන් ස්ටෝක්ස් 68, සෑම් බිලින්ග්ස් 34, ටිම් සවුති 44/3, බෙන් වීලර් 64/3, මැතිව් හෙන්රි 64/2 යි.)

නවසීලන්තය  ඕවර 49 කදී කඩුලූ 7 ට ලකුණු 306 යි.

(කේන් විලියම්සන් 118, රොස් ටේලර් 110, මිචෙල් සැනට්නර් 21, ඬේවිඞ් විලී 69/3, බෙන් ස්ටෝක්ස් 35/2 යි.

- 033

 


අදහස් (0)

ටේලර් - කේන් නවසීලන්තය ඉදිරියට ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.