Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෙස්ට් සංචිතයෙන් තිරිමාන්න - අසලංක හැළෙති

ටෙස්ට් සංචිතයෙන් තිරිමාන්න - අසලංක හැළෙති

editorial - 2022 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ටෙස්ට් තරග 2 කින් සමන්විත බංග්ලාදේශ සංචාරය සඳහා නම් කරන ඇතැයි වාර්තාවන ක්‍රීඩකයන් 22 ක ගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතයෙන් ළහිරු තිරිමාන්න සහ චරිත් අසලංක ඉවත් කර තිබේ. නැෂනල් සුපර් ලීග් සිවුදින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට එම සංචිතයේ ස්ථානයක් හිමිව නොමැත. 

සිංහල සහ හින්දු අලුත් අවුරුදෙන් පසුව මෙම සංචිතය ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සමග පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. ඉන් අනතුරුව ක්‍රීඩකයන් සංඛ්‍යාව 18 ක් දක්වා අඩු කරමින් තරගාවලියට සහභාගිවන අවසන් සංචිතය නම් කිරීමට නියමිතය. 

ඉකුත් මාර්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේ ඉනිම් 4 තුළ දෙවතාවක්ම ලකුණු නොළබා දැවී ගිය තිරිමාන්න, සෙසු ඉනිම් දෙකේදීද ලබාගත්තේ ලකුණු 25 ක් පමණි. එම තරගාවලියේ ඉනිම් 4 තුළදී අසලංකගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 29, 20, 05 සහ 05 ක් ලෙසිනි.  

කෙසේ වුවත් අසලංක තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 කට පමණක් බැවින් ඔහු පිළිබඳ තීරණයක් ගැනීමට තේරීම් කමිටුව ඉක්මන් විය යුතු නැතැයි ඇතැම් විචාරකයෝ පවසති. පසුගිය කාලයේදී දිගින් දිගටම අසාර්ථක වූ ඇතැම් තරුණ ක්‍රීඩකයන්ට ලබාදුන් අවස්ථාවන් අසංලකට ලබා නොදෙන්නේ මන්දැයිද ඔවුහු වැඩි දුරටත් විමසති. 

මේ අතර නවක දක්ෂතා හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් සිවුදින තරගාවලියේදී කැපී පෙපෙන දස්කම් දක්වමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කමිඳු මෙන්ඩිස්ට ටෙස්ට් සංචිතය සඳහා කැඳවීමක් නොලැබීමද මේ වන විට වැඩි දෙනාගේ කතාබහට ලක්ව තිබේ. 

එම තරගාවලියේ තරග 6 ක ඉනිම් 11 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 886 ක් රැස්කිරීමට කමිඳු සමත්වූ අතර එහිදී ඔහු රඳවාගත් සාමාන්‍යය 80.54 ක අගයක් ගත්තේය. තරගාවලියේ ශූරතාව දිනාගැනීම සඳහා මහනුවර කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද කමිඳු විසිනි. 

නැෂනල් සුපර් ලීග් තරගාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ඕෂධ ප්‍රනාන්දු සහ රොෂේන් සිල්වා පිතිකරුවන් ලෙසත්, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුෂංක, කසුන් රාජිත, ශිරාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සිරාස් වේග පන්දු යවන්නන් ලෙසත්, ලක්ෂිත රසාංජන සහ සුමින්ද ලක්ෂාන් දඟ පන්දු යවන්නන් ලෙසත් සංචිතයට කැඳවා සිටිති. 

ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය 
දිමුත් කරුණාරත්න (නායක), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, විෂ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුෂංක, කසුන් රාජිත, ශිරාන් ප්‍රනාන්දු, මොහොමඩ් සිරාස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂිත රසාංජන සහ සුමින්ද ලක්ෂාන් 


අදහස් (0)

ටෙස්ට් සංචිතයෙන් තිරිමාන්න - අසලංක හැළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.