Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෙස්ට් ක්‍රිකට් ලෝක ශුරතාවලිය ඇරඹෙයි

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශුරතාවලිය ඇරඹෙයි

editorial - 2019 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක කුසලානයේ අලුත්ම හිමිකරුවන් වන එංගලන්තය සහ ලෝක කුසලානයේ හිටපු හිමිකරුවන් වන ඕස්ටේ්‍රලියාව අතර බ්‍රහස්පතින්දා (1 වැනිදා) ආරම්භ වන ‘අළු බඳුන’ තරගාවලිය ලෝක කුසලාන තරගාවලියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මානයකින් පැවැත්වෙන තරගාවලියකි. අළු බඳුන තරගාවලියේ අතීතය වසර 100 ටත් වඩා එපිටට දිවයන්නකි. 

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන ‘අළු බඳුන’ තරගාවලියේ පළමු දිනය මෙතෙක් කලක් පැවැති අළු බඳුන තරගාවලි වලට වඩා වෙනස් වන්නේ ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියත් එයින් ආරම්භ වන බැවිනි. 

රටවල් දෙකක් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලි සඳහා වැඩි වටිනාකමක් එක්කිරීමේ අටියෙන් මෙන්ම ටෙස්ට් ක්‍රිකට් යනු ලෝකයේ ඉහළතම තලයේ ක්‍රිකට් ක්‍රීඩාව බව අවධාරණය කිරීමේ අටියෙන් ටෙස්ට් ලෝක ශූරතාවලිය සංවිධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. 

ටෙස්ට් ක්‍රිකට් කීඩාවේ නියුතු රටවල් 9 ක් වන ඕස්ට්‍රේලියාව , බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්  මෙම ටෙස්ට් ලෝක ශූරතාවලියට සහභාගි වෙති. මෙම රටවල් 9 ම එක්ව, වසර දෙකක කාලයක් ඇතුළත ටෙස්ට් තරග 72 කට සහභාගි වීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය 2021 දී ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

ටෙස්ට් ලෝක ශූරතාවලියේ දෙවැනි වටය ආරම්භ වන්නේ 2021 අවසන් මහ තරගයෙන් පසුවය. 

ලෝක ටෙස්ට් ශූරතාවලිය පැවැත්වෙන්නේ තරමක් වෙනස් අකාරයේ සැලැස්මකිනි. 

තරගාවලි සඳහා එක් එක් රටවලට ඇති ඉඩ ප්‍රස්ථාව අනුව, වසර දෙකක කාලය තුළදී, සෑම රටක්ම තරගාවලි 6 කට ක්‍රීඩා කළ යුතුව තිබේ. එයින් තරගාවලි 3 ක් මව්බිමේදීත් අනෙක් තරගාවලි තුන ප්‍රතිවාදීන්ගේ රටේදීත් පැවැත්විය යුතුව තිබේ. මෙම සෑම තරගාවලියක්ම තරග එකකට වඩා වැඩි සංඛ්‍යාවකින් සමන්විත යුතුවන අතර තරග 5 ක් දක්වා දීර්ඝ විය හැකිය. 

තරගාවලියක් වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රසාද ලකුණු 120 කි. එය තරග 5 කින් සමන්විත තරගාවලියක් නම් තරගයක ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 24 කි. තරග 3 කින් සමන්විත තරගාවලියකදී ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 40 ක්ද, තරග දෙකකින් සමන්විත තරගාවලියකදී ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 60 ක්ද වේ. 

කෙසේ වෙතත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වීමේදී ප්‍රසාද ලකුණු බෙදී යන්නේ 1 : 1  අනුපාතයට නොව, 2 : 1 අනුපාතයෙනි. ප්‍රසාද ලකුණු 60 ක් පිරිනැමෙන ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් දෙපිලටම හිමිවන්නේ ප්‍රසාද ලකුණු 20 බැගින් මිස 30 බැගින් නොවේ. 

ඇෆ්ඝනිස්ථානය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන රටවලටද මේ වන විට ටෙස්ට් වරම් ලැබී තිබුණද ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා එම රටවල් ක්‍රීඩා කරන තරග ප්‍රතිඵල ඇතුළත් නොකෙරේ. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ලබන මස 14 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියත් මෙම ලෝක ශූරතාවලියට ඇතුළත් වේ. 

“ටෙස්ට් ලෝක ශූරතාවලිය ආරම්භවන තුරු අපි විශාල උනන්දුවකින් බලා සිටියා. ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම ආකාරය වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මෙයින් වඩාත් තරගකාරී මට්ටමකට ගෙනෙනවා”

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ විශාල අභියෝගයක්. මේ සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළට නැඟීම හරිම තෘප්තිමත් හැඟීමක්..ඉන්දීය කණ්ඩායම පසුගිය කාලයේදී මේ ක්‍රීඩාවේ හොඳින් නියැලිලා තියෙනවා...ටෙස්ට් ලෝක  ශූරතාවලියේදී අපේ අවස්ථාව කොයි වගේද කියලා බලන්න මහත් බලාපොරොත්තුවෙන් ඉන්නේ” යයි ඉන්දීය නායක විරාට් කෝලි පැවසීය. 

 


අදහස් (0)

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශුරතාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.