Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජෝ රූට්ගෙන් විශිෂ්ට ශතකයක්

ජෝ රූට්ගෙන් විශිෂ්ට ශතකයක්

editorial - 2025 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජෝ රූට් ලබාගත් විශිෂ්ට ශතකය නිසා හිස් ඔසවාගත් එංගලන්ත ක්‍රීඩකයෝ බි්‍රස්බේන් නුවරදී අද (4 වැනිදා) ආරම්භ වූ දෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු දින ක්‍රීඩාව නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියහ.

මිචෙල් ස්ටාක් (71/6) කළ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ලත් ලකුණු 264 දී බිඳ වැටිණ. එහෙත් ජෝ රූට් සහ ජොෆ්රා ආචර් එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 61 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා එංගලන්ත කණ්ඩායම ලකුණු 325 ක් දක්වා ඉදිරියට ගියේය. 

බි්‍රස්බේන් නුවර ‘ගැබා’ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙය, රෝස පැහැ පන්දුවක් භාවිතා කෙරෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකි. 

වසර 13 ක් තිස්සේ එංගලන්තය නියෝජනය කරමින් මේ වනවිට ටෙස්ට් ශතක 40 ක් සමගින් ලකුණු 13,686 ක් ලබා සිටියද හිටපු එංගලන්ත නායකයා, ඕස්ට්‍රේලියාවේදී  ලබාගත් පළමු වැනි ටෙස්ට් ශතකය මෙයයි. ජෝ රූට්ට ශතකය නොදී දවාගැනීමේ අටියෙන්, වේග පන්දු යවන්නකු වන ස්කොට් බෝලන්ඩ් පන්දු යවමින් සිටියදී ඇලෙක්ස් කේරි කඩුල්ල ආසන්නයේම කඩුලු රකිමින් සිටියේය. එහෙත් බෝලන්ඩ්ගේ පන්දුවක් ඳාලෝන්ග් ලෙග්’ කලාපය ඔස්සේ හතරේ සීමාවට යවමින් ජෝ රූට් ඕස්ට්‍රේලියාවේදී සිය මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. 

එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පිතිහරඹය තෝරා ගත්තේය. ඕවර 3 කදී ලකුණු 05 කට කඩුලු දෙකක් බිඳ වැටුණු නමුත් සැක් ක්‍රෝලි (76) සමගින් එක්වූ ජෝ රූට් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. 

එංගලන්තය ලකුණු 150 පසුකරද්දී ජෝ රූට් පන්දු 83 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර තිබිණ. හතර අතින් කළුවර ගලා එන විට ජෝ රූට් (නොදැවී 68) සහ බෙන් ස්ටෝක්ස් (නොදැවී 14) පිටියේ රැඳී සිටියහ. තරගයේ රාත්‍රී කොටස ආරම්භ වූයේ එතැනිනි. 

මේ අතරවාරයේදී එංගලන්තයේ විනාශකාරයා වන මිචෙල් ස්ටාක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම වමත් වේග පන්දු යවන්නා වෙමින් සිය 415 වැනි කඩුල්ල දවාගත්තේ පාකිස්තානයේ හිටපු නායක වසිම් අක්රම් සතුව තිබූ කඩුලු 414 වාර්තාව පසුකර යමිනි. වමත් වේග පන්දු යවන්නන් අතර ඉතාම සාර්ථක පන්දු යවන්නන් වන්නේ මිචෙල් ස්ටාක් (418), වසිම් අක්රම් (414) සහ චමින්ද වාස් (355) තිදෙනාය. 

මෙම තරගයට පෙර, ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග 14 කට සහභාගි වී සිටි ජෝ රූට්ගේ නමට ඉදිරියෙන් ලකුණු 890 ක් ලබා සිටි නමුත් ඔහු ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් ශතකයක් ලබා නොතිබිණ. එහෙත් එංගලන්තයෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් පිතිකරුවා, අද තරගයේදී ලබාගත් ලකුණු 135 ත් සමගින් ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් ලකුණු 1000 කඩඉම පසුකර ගියේය.

මෙ වනවිට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 13,686 ක් ලබා සිටින ජෝ රූට්, ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි වන්නේ සචින් තෙන්ඩුල්කාර්ට (15,921) පමණි. සෑම අතින්ම සම්මත ටෙස්ට් පිතිකරුවකු වන නමුත් ජෝ රූට් ඉනිම අවසන් කිරීමට මඳ වේලාවකට පෙර, සිය පිතිහරඹ ආස්ථානය වෙනස් කරමින් ගැසූ ‘ස්කූප්’ පහරකින් ලකුණු 6 ක් ලබාගත්තේ පන්දුව තර්ඩ් මෑන් කලාපයට ඉහළින් යවමිනි. 
එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන රොබින් ස්මිත්ගේ අභාවය වෙනුවෙන් දෙපිලේම ක්‍රීඩකයෝ කළු අත්පටි පැළඳ ක්‍රීඩා කළහ. 

පර්ත් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගය ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද තරගයට පිවිසියේ නිත්‍ය නායක පැට් කමින්ස් නොමැතිවය. කමින්ස් වෙනුවට ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියානු පිලේ නායකත්වය දරයි. ඕස්ටේ්‍රලියානුවෝ වසර 14 කට පසුව, විශේෂඥ දඟ පන්දු යවන්නකු නොමැතිව, ටෙස්ට් තරගයකට පිවිස සිටිති. ෂේන් වෝන්ගෙන් පසුව ඕස්ට්‍රේලියානුවන් වැඩිම පිරිසකගේ විශ්වාසය දිනාගත් දඟ පන්දු යවන්නා වන නේතන් ලයන් වෙනුවට වේග පන්දු යවන්නකු වන මයිකල් නේසර් අද තරගයේදී ක්‍රීඩා කරයි. 


එංගලන්තය - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 325 යි
(සැක් ක්‍රෝලි 76, ජෝ රූට් නොදැවී 135, හැරී බෲක් 31, බෙන් ස්ටෝක්ස් 19, විල් ජැක්ස් 19, ජොෆ්රා ආචර් නොදැවී 32, මිචෙල් ස්ටාක් 71/6)

- 213

 


අදහස් (0)

ජෝ රූට්ගෙන් විශිෂ්ට ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.