Last Update  :  2026-01-17 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපානය හමුවේ ශ්‍රී ලංකාවට පහසු ජයක්
යොවුන් ලෝක කුසලාන - 2026

ජපානය හමුවේ ශ්‍රී ලංකාවට පහසු ජයක්

editorial - 2026 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැමීබියාවේ වින්ඩ්හෝක් නුවරදී අද (17 වැනිදා) පැවැති යොවුන් ලෝක කුසලාන තරගයේදී ජපානයට එරෙහිව ලකුණු 203 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වූ නමුත් ඒ වෙනුවෙන් ඕවර 50 ක් පුරා වෙහෙසෙමින් පන්දු යවන්නන් 8 දෙනකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් නායකයාට සිදුවිය.

අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු 20 දෙනාටවත් ඇතුළත් නොවන ජපානය වැනි කණ්ඩායමකට ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 388 ක් ලබාගැනීම සිහිනයකි. 

කෙසේ වෙතත් තමන්ගේ කඩුලු ලෙහෙසියෙන් පූජා නොකළ ජපාන යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 50 පුරා වෙහෙස කරවූහ. 

අද තරගයේදී ලකුණු 192 ක් ලබාගත් විරාන් චමුදිත, යොවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගත්තේය. මාතර ශාන්ත ශර්වේෂස් විද්‍යාලයෙන් පැමිණි විරාන් චමුදිත තවමත් 17 හැවිරිදි වමත් පිතිකරුවෙකි. පන්දු 146 කට මුහුණ දුන් චමුදිතගේ ඉනිම හතරේ පහර 26 කින් සහ හයේ පහරකින් සමන්විත විය. 

වසර 2018 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී හසිත බෝයගොඩ විසින් කෙන්යානු යොවුන් පිලට එරෙහිව ලකුණු 191 ක් ලබාගනිමින් තබා තිබූ ලෝක වාර්තාව අද දිනයේදී විරාන් චමුදිත විසින් හිමිකර ගන්නා ලදි. 

තරගය ආරම්භ වූයේ ජපනුන්ට තරු පෙන්වමිනි. 

කාසියේ වාසිය හිමිකරගත් කසුමා කාටෝ ස්ටැෆර්ඩ් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් නොසිතූ විරූ ප්‍රහාරයකට මුහුණ දීමට ජපාන පන්දු යවන්නන්ට සිදුවිය. පළමු ඕවර 10 න් ලකුණු 70 ක් උදුරාගත් විරාන් චමුදිත (49) සහ දිමන්ත මහවිතාන (13) එතැන් සිට පන්දුවට පහර දුන්නේ සිය ප්‍රතිවාදීන් සෙල්ලමට ගනිමිනි. විශේෂත්වය වූයේ දෙදෙනාම පන්දුවට පහර දීමේ අවස්ථාව හුවමාරු කරගනිමින්, සිටියද විරාන් චමුදිත දැඩි ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වීමයි. 

විරාන් චමුදිත පන්දු 64 කින් සිය ශතකය සම්පූර්ණ කරද්දී මහවිතාන ලබා සිටියේ ලකුණු 38 කි. 

40 වැනි ඕවරයේදී දිමන්ත මහවිතාන, පන්දු 114 කින් සිය ශතකය සම්පූර්ණ කරගත් අතර ඊට හතරේ පහර 9 ක් ඇතුළත් විය. 44 වැනි ඕවරයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ මහවිතාන දුවද්දී දැවී යාමෙනි. ඒ වන විට පුවරුවේ තිබූ ලකුණු 328, යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැති ඉහළම සම්බන්ධතාව ලෙසින් වාර්තා පොතට එක් විය. 

වසර 1989 දී ආරම්භ වූ යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේදී ලකුණු 300 ක් ඉක්මවා ගිය සම්බන්ධතාවක් වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙයයි. යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේදී, ඕනෑම කඩුල්ලක් වෙනුවෙන්, මීට පෙර පැවැති හොඳම සම්බන්ධතාව වූයේ 2016 දී එංගලන්තයේ ඩෑන් ලෝරන්ස් සහ ජැක් බර්න්හැම් එක්ව ෆිජි යොවුන් කණ්ඩායමට එරෙහිව ගොඩනැංවූ ලකුණු 303 සම්බන්ධතාවයි. 

දිමන්ත මහවිතාන (115) සහ විරේන් චමුදිත (192) දෙදෙනාම පන්දු 3 ක් ඇතුළත  දැවී ගිය නමුත් ශ්‍රී ලංකා යොවුන් පිලේ සෙසු පිතිකරුවෝ ඉතිරි ඕවර 6 න් ලකුණු 58 ක් උදුරා ගත්හ. 

පන්දු 24 කින් නොදැවී ලකුණු 44 ක් ලබාගත් විමත් දින්සරගේ ඉනිමට ඇතුළත් වූයේ හයේ පහර 2 ක් සහ හතරේ පහරකි. ඔහු කෙතරම් හොඳින් තනි ලකුණු සහ ද්විත්ව ලකුණු ලබාගත්තේ ද යන්න පැහැදිළි වන්නේ, හතරේ හෝ හයේ පහර වලින් තොරව, පන්දු 21 කින් ලකුණු 28 ක් ලබාගැනීමෙනි. එය ඉහළ පෙළේ පිතිකරුවකු වීමේ සුබ නිමිති පෙන්වීමකි. 

 


අදහස් (0)

ජපානය හමුවේ ශ්‍රී ලංකාවට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.