Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිල පරාජයන්ට තිත තබයි
අයි.පී.එල්. - 2022

චෙන්නායි පිල පරාජයන්ට තිත තබයි

editorial - 2022 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 22 වැනි තරගය ලෙස රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (12 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. මේ දක්වා තරග 5 කට සහභාගි වී ඇති චෙන්නායි කණ්ඩායම එහිදී ලැබූ පළමු ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්යක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට මහීෂ් තීක්ෂණ‍ ‍සහ රවින්ද්‍ර ජදේජා ප්‍රමුඛ චෙන්නායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 193 ක් පමණි. එහිදී තීක්ෂණ ලකුණු 33 කට කඩුලු 4 ක්ද, ජදේජා ලකුණු 39 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශබාස් අහමඩ් පන්දු 27 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය. යුසෂ් ප්‍රභූදේසායි පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක්ද, දිනේෂ් කාර්තික් පන්දු 14 කදී හයේ පහර 3 ක් සහ හ‍තරේ පහර 2 ක් සමග ලකුණු 34 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 216 ක් ලබාගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 19 ක් වන විට පළමු කඩුල්ල බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 165 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ රොබින් උතප්පා (88) සහ ශිවම් ඩූබේ (නොදැවී 95) චෙන්නායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

එහිදී පන්දු 46 කට මුහුණදුන් ඩූබේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 95 ක් ලබා චෙන්නායි ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. පන්දු 50 කදී වාර්තා වූ ආරම්භක පිතිකරු උතප්පාගේ අර්ධ ශතකය හයේ පහර 9 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. 

බැංගලෝර් පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ චෙන්නායි පිතිකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්වූ අතර 19 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී උතප්පා සහ නායක රවින්ද්‍ර ජදේජා (0) දවාගැනීමට වනිඳු හසරංග සමත් විය. 

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 216

(රුතුරාජ් ගයික්වාද් 17, රොබින් උතප්පා 88, ශවම් ඩූබේ නොදැවී 95, වනිඳු හසරංග 35/2) 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 193

(ග්ලේන් මැක්ස්වෙල් 26, ශාබාස් අහමඩ් 41, සුයස් ප්‍රභූදේසායි 34, දිනේෂ් කාර්තික් 34, මහීෂ් තීක්ෂණ 33/4, රවින්ද්‍ර ජදේජා 39/3)

-036


අදහස් (0)

චෙන්නායි පිල පරාජයන්ට තිත තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.