Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි 5 වැනි වරටත් ශූරතාව දිනයි
අයි.පී.එල්. 2023

චෙන්නායි 5 වැනි වරටත් ශූරතාව දිනයි

editorial - 2023 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් අයි.පී.එල්. ශූරතාව දිනූ 5 අවස්ථාව මෙය විය.

චෙන්නායි කණ්ඩායම මෙවර එම ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක ජයක් වාර්තා කරමිනි. ශූරතාව දිනාගැනීම වෙනුවෙන් චෙන්නායි කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදලක් පිරිනැමිණ.

ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 890 ක් රැස්කළ ගුජරාට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර වැඩිම ලකුණු ලාභියා ලෙස තැඹිලි පැහැති හිස්වැසුමට හිමිකම් කීමටද ඔහු සමත් විය. වැඩිම කඩුලු ලාභියා ලෙස දම් පැහැති හිස්වැසුමට හිමිකම් කීමට ගුජරාට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි සමත් වූයේ  තරගාවලිය පුරා කඩුලු 28 ක් දවාගනිමිනි.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේ ජයග්‍රහණය සඳහා චෙන්නායි කණ්ඩායමට ලකුණු 215 ක ඉලක්කයක් හිමිවුවද, ගුජරාට් ඉනිම අවසානයේ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් චෙන්නායි ඉනිම ඕවර 15 කට සීමා වීමත් සමග ජයග්‍රාහී ඉලක්කය ලකුණු 171 ක් බවට පත් විය. ඉලක්කය හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ අවසන් පන්දුවේදී එය සපුරාගනිමින් මෙවර තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගත්හ.

තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දු දෙකේදී ලකුණු 10 ක් අවශ්‍ය වූ අතර හයේ පහරකින් සහ හතරේ පහරකින් එම ලකුණු සංඛ්‍යාව ලබාගත් රවින්ද්‍ර ජදේජා සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. රුතුරාජ් ගයික්වාද් (26) සහ ඩෙවෝන් කොන්වේ (47) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 74 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අගනා අඩිතාලමක් දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ 21 හැවිරිදි සායි සුදර්ෂන් පන්දු 47 කින් ලකුණු 96 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. රිධිමන් සාහා (54) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 64 ක් එක් කළ සුදර්ෂන්, ඉන් නොනැවතී නායක හර්දීක් පාණ්ඩ්‍යා (නොදැවී 21) සමග එක්ව තෙවැනි කඩුල්ලට තවත් ලකුණු 81 ක් එක් කළේය.

රිධිමන් සාහා පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 54 ක්ද, ශුබ්මන් ගිල් පන්දු 20 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 39 ක්ද රැස්කරමින් ගුජරාට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 67 කි. ජදේජාගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ගිල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.


ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 214
(රිධිමන් සාහා 54, ශුබ්මන් ගිල් 39, සායි සුදර්ෂන් 96, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 21, මතීෂ පතිරණ 44/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 15 කදී කඩුලු 5 කට 171
(රුතුරාජ් ගයික්වාද් 26, ඩෙවෝන් කොන්වේ 47, ශිවම් ඩූබේ නොදැවී 32, අජින්ක්‍යා රහනේ 27, අම්බටි රයිඩු 19, රවින්ද්‍ර ජදේජා නොදැවී 15, මොහිත් ශර්මා 36/3, නූර් අහමඩ් 17/2)

-036


අදහස් (0)

චෙන්නායි 5 වැනි වරටත් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.